දකුණත් අගසවු හිරෙ වැටෙයි

Posted on April 7, 2010



වමත් අගසවුහට පෙනී ගියේ ලොක්කා තමන්ට වඩා දකුණත් අගසවුට සළකන බව ය. එය කෙසේවත් සතුටට කාරණයක් නොවී ය.

වමත් අගසවු ගැටයක් ගැසුවෙ ය.

ඔහු ලොක්කාට සැළකර සිටියේ දකුණත් ලොක්කාව සෑම අතින්ම අනුගමනය කරන බව ය. දන්සැල්වලින් ද කූඩාරම්වලින් ද දුරකථන පණිවුඩවලින් ද අතිවිශාල කටවුට් වලින් ද ලොක්කා ලගට ඉන්නේ තමන් යයි පෙන්වන්නට දකුණත් සවු උත්සහයක යෙදෙමින් සිටින බව ඔහු ලොක්කාට ඒත්තු ගන්වා සිටියේ ය.

ඔහොම ගියොත් පුතාට ලැබෙන්න තියෙන දෙය වුව උදුරා ගැනීමට බැරි නැතැයි කල්පනාවක් ද පහළ කළේ ය.

මැතිවරණය අවසන් වූවහාම වැඩිම මනාප ගෙන අගමැති තනතුර ඉල්ලීමටත් ලොක්කා චකබ්ලාස් කර ඊළග ලොක්කා වීමෙ ප්ලෑනක් නොහොත් කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවත් තව දුරටත් ඔප්පු කර සිටියේ ය.

ලොක්කා උරණ විය. දකුණත් අග සවු සිදුවන දේ තේරුම් ගන්නා විට සිටියේ කුමන්ත‍්‍රණ චෝදනාවකට චුදිතයා ලෙස යකඩ කූරු අල්ලා ගෙන ය.

“කොහොමට ඉන්න ඉඩ කඩ තිබුණු කෙනෙක්ද මෙ විදිහට හිරෙ විලංගුවෙ වැටුනෙ” දනෝ කම්මුලේ අත තබා ගෙන කල්පනා කළහ.

පංචායුදයකට මුවා වී දේශය හා රජතුමා පාවා දීම සම්බන්ධයෙන් වන්දි භට්ටයන්ගේ දොසට දකුණත් අගසවු අසුව සිටියේ ය.

මව්බිම නැති කළ  දෙ‍්‍රා්හියා යන නම්බු නාමය දකුණත් අගසවුට පිරිනැමීමට දේශපේ‍්‍රමීන් පෝලිමෙ පැමිණිය හ.

දකුණත් අගසවුට ඇඩුනේය. තමා කළ රාජකාරිය ඊටත් වඩා හොදින් කිරීමට දක්ෂ මිනිසුන් සිටීම ගැන දකුණත් අගසවුට ඒ අල්ල පනල්ලේ පුදුමත් සිතුණි.

බඩ ජහරිකම වාගේම වාචාල කමත් හොදහැටි එකකු තුළ පිහිටන්නේ කෙසේදැයි තම සරීර කූඩුව දෙසත් තමන්ට ගරහන දේශපේ‍්‍රමීන් දෙසත් බලමින් ඔහු කල්පනා කළේ ය.

කලෙක මව්බිම බෙරා ගත් වීරයා වූ තමන්ට මව්බිමෙ පංචායුදය ලෙස ඔටුනු පළන් තමන්ට මෙ හිටිහැටියේ කඩා පාත්වූ හෙණය කුමක්දැයි ඔහු කල්පනා කළේ ය. “ඔය පළ දීල තියෙන්නෙ කළ පව්” කවුදෝ එකකු කෙළත් ගසා කියමින් යනු දැක ඔහුට තවත් දුක සිතුණි.

“ඇත්තටම මාත් පව් කළා ද?”………….

දෝංකාරයක් නංවමින් හැඩුනු ඒ හඩත් සමග නිදා උන් මට ඇහැරිණි. මා දැක තිබුනේ සිහිනයකි. සමහර සිහින සැබෑ වෙන්නේ යයි සමහරු කියති.

“මෙන්න විමල් වීරවංශ ඔයාට කතා කරනවා” බිරිද ජංගම දුරකථනය මා අතේ තැබුවා ය.

තමන්ට චන්දය දෙන ලෙස රටට එකක් දෙන ලෙස ඔහු ගැඹුරු කටහඩකින් ඉල්ලා සිටියේ ය. මා දැක තිබුනේ දවල් හීනයකි.

මා සිහිනයේ දී දුටු වමත් අගසවු කවුදැයි දහ අතේ කල්පනා කළ ද හරි නිගමනයකට පැමිණිමට මට නොහැකි විය. ඔබ ඔහු කවුදැයි හොයනවා නම් ඔත්තුවක් නම් දිය හැකි ය. තනි සුදු පැහැයෙන් සැරසී සිටි ඔහු බොහෝ සෙයින් උස ය.

Posted in: Uncategorized