පිරිමි විරුද්ධ පැත්තේ නම් පරිස්සමින් ඉන්නා එක හොද ය!

Posted on April 5, 2010



විපක්ෂයට කවදත් අපල ය. එහෙත් මෙ දිනවල වැඩියෙන් අපල ය. ගෑණියෙක්ගෙ කකුලක් වැරදිලාවත් පෑගුනොත් වෙනදා සොරිය කියා ගැලවී යන්නට පුලුවන්වුවත් දැන්නම් කෙළින්ම නගින්න වෙන්නේ කූඩුවට ය. සමහර විට පෑගෙන්නම වුවමනාත් නැත. පෑගුවාය කියා ගෑණියකට දැනුනොත් ඇති ය. ඇත්තටම එසේ නොදැනුනත් එසේ සිදුවු බවට පැමිණිල්ලක් කිරීමට තරම් ඉදිරිපත් වීමෙ ගුණයක් තිබ්බත් ඇති ය.

මෙ ටික කීවෙ සුසිල් කිදෙල්පිටිය ගෑණියෙකුට අඩම්තේට්ටම් කිරීමෙ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති නිසා ය.

මැතිවරණය වනවිට තව කීදෙනෙකු ද හිරෙ ලගින්නට සිදුවෙ දැයි නිශ්චය වශයෙන් කිව නොහැකි ය.

ඈනුමක් වාතයක් ඇරියත් පරිස්සමින් අරින ලෙස පමණක් අපි විරුද්ධ පක්සයේ උන්ට කියමු.

සුසිල් කිදෙල්පිටිය අත්අඩංගුවට ගත්තේ සිරසට ගල් ගැසූ උන් නිදහස් කොට උසාවියෙන් අම්බානකට බැණුම් අසා ගත් පොලීසිය නිසා සුසිල් ඇත්තටම ගෑණියෙකුට අඩම්තේට්ටම් කළත් එසේ නොවෙ යැයි අපට සිතේ.

සුසිල් කිදෙල්පිටිය අත්අඩංගුවට ගත්තේ තමන්ගේම නිලධාරීන් රාජකාරිය නිසි ලෙස කිරීම නිසා උන් හා  උරණ වූ පොලීසියම නිසා අපට සුසිල් ඇත්තටම අහිංසක යැයි සිතේ.

තවත් ආකාරයකට කියන්නේ නම් සුසිල්ගේ පැටිකිරිය ගැන ඇත්තේ නොදැනුමක් වුව ද පොලීසිය පැත්තෙන් නම් පුරුදු දුගඳක් හමන බව නම් එක හෙලාම කිව හැකි බව ය.

උගන්ඩාව හොද යැයි කාට හෝ තව ටික දවසකින් තේරුණොත් ඒකට අපට වගකියන්නට බැරි ය.

සුසිල් කිදෙල්පිටිය ගැන දන්නා උන්ගේ මිත‍්‍ර එජනිස චන්දදායකයින් පවා මෙවැනි කාරණා නිසා ආණ්ඩුව ගැන හොඳ නම් නොකියන බව අපි දනිමු.

බෙදුම් රෙඛාවෙන් වැරදි පැත්තේ සිටීම කොතරම් කරදර ගෙන දෙන එකක් දැයි තේරෙන අය ඉක්මණින් එය පැන බෙරෙති. අනිත් අයට දෙවියන්ගේ පිහිට ය.

පිරිමි විරුද්ධ පැත්තේ නම් පරිස්සමින් ඉන්නා එක හොද ය.

ඒ ගැහැණියක් පිරිමියෙකුට අඩම්තේට්ටම් කිරීම අසාමාන්‍ය දෙයක් වුව ද පිරිමියෙක් ගැහැණියෙකුට අඩම්තේට්ටම් කිරීම පිළිබඳ චෝදනාවක් විශ්වාසයට ගත හැකි බරපතල චොදනාවක් විය හැකි හෙයිනි. ඒ නිසා ම අනාගතයේ අපේක්ෂක ලයිස්තු කාන්තාවන්ගෙන් පමණක් පිරවීම සම්බන්ධයෙන් විපක්ෂය බරපතල ලෙස කල්පනා කළ යුතු යුගයක් එළැඹෙමින් තිබෙ.

විරුද්ධ පක්ෂය කිව්වහම බොහෝ දෙනෙක් සන්ධානයේ කට්ටිය ඊට දාන්නේ නැත. ඇත්තටම කියනවා නම් එතරම් ප‍්‍රබල නොවන සන්ධානයේ අපේක්ෂකයින් හා උන්ගේ ආධාර කරුවන් ද ඇත්තට ම වැටෙන්නේ විරුද්ධ පක්ෂයට ය. උන් තුවාල ලබා රෝහල් ගත වන්නේ ඒ නිසා ය. සමහර විට මරණයෙන් වන්දි ගෙවන්නේ ඒ නිසා ය.

අප කිව්වා හරි ය. බෙදුම් රෙඛාව තවදුරටත් සැකසෙමින් තිබෙ.

Posted in: Uncategorized