මියන්මාරයෙන් ආවාට හිත තවමත් එහි ය

Posted on March 26, 2010



මියන්මාරයේ අගනුවරට ලයිට් ඇත්තේ පැය 8 කාලයකට ය. ඒ නිසා එහි මිනිසුන්ට ශීතකරණ භාවිතා කිරීමට නොහැකි ය. ඒ අතින් අප වාසනාවන්ත ය. අපට ශීතකරණයේ තබන්නට එහෙමකට යමක් නැතත් අඩුවශයෙන් ශීතකරණවත් තිබෙන බැවිනි.

දැන් මියන්මාර පාලකයෝ වසර 20 කට පසු පැවැත්වෙන මැතිවරණයකට සූදානම් වෙමින් සිටිති. ඒ අවුන්සාන්සූකිගේ නිවාස අඩස්සිය තවත් මාස 18 කින් දීර්ඝ කිරීමෙන් පසු ය.

බලාගෙන ගියහම නොබැදි රටවල් කොයි එකත් එක ය.

එහෙම බලාගෙන ගියහම ලංකාවෙ පාලකයින් එක අතකින් හොද ය. අපට තවමත් පැය 24 ම ලයිට් තිබෙ. පත්තු කරන විට කොහොම වෙතත් බිල එනවිට හදවත හෝස් ගා දැල්වෙතත් එය ලොකු ජයග‍්‍රහණයකි.

ලංකාවට නැවත ඒමට හිතුනේ අඩුවශයෙන් එය මියන්මාරයට වඩා වැඩිමනත් කරුණුවලින් තවමත් පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නා බැවිනි.

එහෙත් මියන්මාර වැසියන් ලංකාවෙ වැසියන්ට වඩා ඉදිරියෙන් ඉන්නා බව අපට අමතක කළ නොහැකි ය. ටික කාලයක් හිටියත් රටෙ ආරක්ෂක සේවා වලින් ඇත්තටම බැට කෑවත් මියන්මාර වැසියන්ට මම කැමැත්තෙමි. උන් අපේ මිනිසුන්ට වඩා දැනුම් තේරුම් ඇත්තෝය. එළඹෙන මියන්මාර මැතිවරණය සාධාරණව පැවැත්වුවහොත් උන් යහපත් නායකයෙක් තෝරා ගන්නවා ඇත.

ඒත් මිලිටරි පාලකයින් එවැනි දෙයකට ඉඩ තබාවිද යන්න අනාගතය විසින් තීන්දු කරන දෙයකි. සුමාන දෙකකටවත් නවාතැන් දුන් රට නිසා ඒ ගැන අපට  කැක්කුමක් ඇත. ඒ නිසාම මියන්මාරයේ කුමක් වනු ඇත්දැයි අපි සෝදිසියෙන් බලා ඉදිමු.

අප අවසාන වශයෙන් අමතක නොකළ යුතු කාරණය වන්නේ මියන්මාරය යනු ආසියාවෙ ආඩම්බරය වූ අපේ රජතුමා වැඩම කිරීමෙන් ශුද්ධත්වයට පත් පුණ්‍ය භූමියක් බව ය. මියන්මාරයේ පාලකයා ද ලංකාවට වැඩම කරවීමෙන් මෙය ද අප විසින් පුණ්‍ය භූමියක් බවට පත් කරගෙන ඇති බව ය.

(ඇත්තටම බෞද්ධ රටවල් දෙකක පාලකයින්ට මෙහෙම ගරු සරු ඇතිව කතා කරන කොට පොඩි ගැම්මක් අපටත් එනව කියල දැනෙනව නේද?)

Posted in: Uncategorized