යුද අධිකරණය

Posted on March 20, 2010



“පෙරෙදා පළමු යුද අධිකරණය රැස්වුනා. ඒ දේශපාලනය කිරීම සම්බන්ධයෙන් ජෙනරාල්ට එරෙහි චෝදනා විභාග කරන්න. අපේ නීතිඥවරු පළමු විරෝධතාව මතුකළා. සරත් ෆොන්සේකා මහතාව යුධ අධිකරණය හමුවට කැඳවිය නොහැකි බවට. ඉන්පසු නීතිඥවරු දෙවැනි විරෝධතාව මතුකරමින් පැවසුවා සභාපති විනිසුරුවරයා වර්තමාන හමුදාපතිවරයාගේ මස්සිනා වන බැවින් සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරන්න බැහැ කියා. චෝදනා පත‍්‍ර සකස් කළේ හමුදාපති. ඒවා විභාග කරන්නේ ඔහුගේ මස්සිනා.”

“මෙ විරෝධතාව මතුකළාම යුද අධිකරණය තාවකාලිකව නතර කරලා සභාපති විනිසුරු සිටිය යුතු ද නැත්ද කියා සෙසු විනිසුරුවරු දෙදෙනා සාකච්ඡකළා. ඉන්පසුව නැවත අධිකරණය කැදවලා සභාපති විනිසුරුට එරෙහි විරෝධතා ප‍්‍රතික්ෂේප කළා.”

“ඉන්පසු අපේ නීතිඥවරු විජේතුංග සාමාජික විනිසුරුවරයා පිළිබඳව ඊළග විරෝධතාවය මතුකළා. ෆොන්සේකා මහතා හමුදාපතිව සිටිද්දී මෙජර් ජෙනරාල් විජේතුංග මහතා ෆොන්සේකා මහතා සමග ටෙන්ඩර් මණ්ඩලයක අසුන්ගෙන සිටි බවත් එහි දී එම ටෙන්ඩරය වැඩිම මිලකට ලබා දෙන්න විජේතුංග මහතා උත්සහ කිරීම නිසා ෆොන්සේකා මහතා ඔහුව ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉවත්කිරීම නිසා පුද්ගලික වෛරයකින් පසුවන බව ද නීතිඥවරු පෙන්වා දුන්නා.”

“නැවත යුද අධිකරණය තාවකාලිකව අත්හිටවනු ලැබුවා විරෝධතාවට අදාළ විනිසුරුවා හැර සෙසු විනිසුරු දෙදෙනා සාකච්ඡ කර තීරණය කළා එම විරෝධතාවය ද ප‍්‍රතික්ෂේප කරන බව.”

“ඉන්පසු තුන්වැනි විනිසුරුවරයා වන ජයතිලක මහතා පිළිබඳ විරෝධතාවය නීතිඥවරු මතුකළා. ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී මෙ මෙජර්ජෙනරාල්වරයා යම් විෂමාචාර ක‍්‍රියාවකට චෝදනා ලැබ තනතුරෙන් පහළ දැමු කෙනෙක් බව නීතිඥවරු පැවසුවා. ෆොන්සේකා මහතා ඔහුට දඩුවමක් ලබා දී ඇති නිසා ඔහුගෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙන්වා දුන්නා.”

“යළි යුද අධිකරණය අත්හිටවනු ලැබුවා විරෝධතාවට අදාළ නැති විනිසුරු දෙදෙනා යළි සාකච්ඡා  කළා. නැවත පැමිණ විරෝධතාව ප‍්‍රතික්ෂේප කළා. මෙ අන්දමට ඒ තුන්දෙනා සම්බන්ධව මතු කළ විරෝධතා ගැන ඒ අයම තීරණය කළා.”

ඉහත පළවූයේ පැවති යුද අධිකරණය තුළ සිදුවූයේ කුමක්දැයි අනුර කුමාර දිසානායක මහතා දිවයිනට (18.03.2010) වාර්තා කළ සිද්දි දාමයයි.

මීට අමතරව සරත් ෆොන්සේකාට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු අය විනිසුරන් ලෙස පත් කර ඇති බව ද එසේ පත් කළ දෙවැනි යුද අධිකරණය තමන් විසින්ම රැස්වි මොහොතකට පසු විසුරුවා ගත් බව ද එහි සඳහන් වුනා.

ඒ ආකාරයට නඩුව දින නියමක් නැතිව කල් ගියා.

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා තීරණාත්මක මැතිවරණයක් අභියස මෙසේ කූඩු ගන්වා තිබීම නිසා ලංකාව ගැන ලෝකයේ ඇතිවන මතය එතරම් ප‍්‍රියජනක එකක් වෙන එකක් නැහැ.

මෙවා බලන අපට අහන්න තියෙන්නෙ ප‍්‍රශ්න 2 යි.

  1. කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්?
  2. ඒත් ඉතින් ඒවා කාගෙන් කියල අහන්න ද?

පුදුමය නම් ශ‍්‍රී ලංකාවෙ මානව අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් සොයා බලා තමන්ට උපදෙස් දීම සඳහා මණ්ඩලයක් පත් කිරීම ගැන බෑන් කී මූන්ට  දෙස්දෙවොල් තියන්නේත් මානව අයිතිවාසිකම් කඩ කිරීම ගැන චෝදනා නිසා ජීඇස්පී ප්ලස් අහිමි කරවීම ගැන අදෝනා නගන්නේත් මෙසේ අමුඅමුවෙ ස්වභාවික යුක්තියේ මූලධර්මයන් පවා නොසළකන මෙහෙව් රටකි.

කණගාටුව අපට එහෙව් රටක පුරවැසියන් වීමට සිදුවීම ය.

Posted in: Uncategorized