ලංකාවෙ සරසවිවලට ගුල්ලෝ ගහලා ය

Posted on March 19, 2010



ලංකාවෙ විද්‍යාව හදාරණන්ගෙන් අඩුවක් නැත. එහෙත් ඒ අය විවාහ වීමට පොරොතුව කේන්දර බලන එක නම් වරද්දන්නේ නැත.

විද්‍යාව කියන්නේ විමසන මාර්ගයකි. එය දැන උගත් මිනිසුන් විමසන්නේ නැතිව කටයුතු කරන්නේ නම් එයින් කියවෙන්නේ කුමක්ද?

උන් විද්‍යාව උගෙන නොමැති බව යි. විද්‍යාව සොයා ගෙන ඇති කාරණා වන පොත් කිරීම හැරුණු කොට විද්‍යාත්මක දැක්මක් තම ජීවිතය කරගෙන නැති බව ය.

මෙයින් කියන්නේ කේන්දර බොරු යයි ප‍්‍රතික්ෂේප කළ යුතු බව ම නොවෙ. එහි ඇත්තක් ඇත්දැයි අඩුවශයෙන් විමසීම විද්‍යාව උගත් කෙනෙකු සතුව පැවතිය යුතු ගුණයක් බව ය.

කෙනෙකු උපන්දිනය දා අහසේ තරු පන්තිවල පිහිටීම කරණ කොට ගෙන ඔහු හෝ ඇය වෛද්‍යවරයෙකු බවට පත්වන්නේ කෙසේදැයි හිතා ගැනීමට මගේ කුඩා මොළයට නොහැකි ය. එය කිසියම් සංකීර්ණ සම්බන්ධතා ජාලයක ප‍්‍රථිපලයක් යයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් එවැනි හේතුඵල සම්බන්ධයක් එක්වර විශ්වාස කිරීමට මම මැළි වෙමි.

එයින් අදහස් කරන්නේ එය ප‍්‍රතික්ෂේප කළ යුතු බව ම නොවෙ. අප නොදන්නා දේද මෙ මිහිතලය මත බොහෝ ඇති බැවින් සමහර විට එවැනි සම්බන්ධයක් අප දන්නා විද්‍යාවට තවමත් සොයා ගැනීමට අපහසු වූවා විය නොහැකි දැයි කෙනෙකුට තර්ක කළ හැකි ය.

එසේ නම් එය සොයා ගෙන ඇත්තේ කෙසේ දැයි තවත් කෙනෙකුට විමසිය හැකි ය.

විශ්ව විද්‍යාලයන් තියෙන්නේ මෙවැනි විවාදාත්මක කාරණා පිළිබද සොයා බලා පර්යේෂණයන් සිදුකරන්නට ය. අපගේ විශ්වවිද්‍යාලයන් තුළ නොකෙරෙන්නේත් ඒක ම ය.

එවැනි පර්යේෂණයන් නිසා එක්කෝ මෙම කේන්දර හුටපටය හේතුවෙන් ගෙදරට නාකි වෙන බොහෝ දෙනෙකුට පිළිසරණයක් වන්නට හෝ කේන්දර විශ්වාස නොකරන නිසා අමාරුවෙ වැටෙන අප වැනි අයගේ පිහිටට හෝ හේතුවන්නට ඉඩ තිබෙ.

රජතුමාට ආචාර්ය සම්මානයක් පිරිනමනවාට වඩා එවැනි කටයුත්තකට අත ගැසීම අමාරු බව අපිදු පිළිගනිමු. එහෙත් විශ්ව විද්‍යාල තිබෙන්නේ එවැනි අමාරු වැඩ ද කිරීමට බව අපේ හැගීම ය.

Posted in: Uncategorized