සරසවි සිසු ගැටුම් නැවතත් කරලියට..ජාතියේ ජරාව මෙ යැයි ප‍්‍රදර්ශනය කරමින්..

Posted on March 18, 2010



කොළඹ සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ගැන ඊයේ වාර්ථා විය.

සරසවියේ සිසු ගැටුම්වලට ඉතිහාසයක් තිබෙ. එයින් අදහස් කරන්නේ එය ඊයේ පෙරෙදා ඇති වූවක් නොවන බව ය.

ඒවා පිටුපස බොහෝවිට දේශපාලනය තිබූ බව නොරහසකි. ඒත් ඒ හැමවිටම නොවෙ. ගම නගරය ලෙස බෙදී මොරටු සරසවියේ සිසුන් ගහ මරා ගැනීම පිටුපස දේශපාලන බෙදයක් තිබුනේ නැත.

සමහරු මෙහි සියලු පව් සරසවි සිසුන් වෙත පවරා අත් පිසදා ගනිති. සමහරු ඒ හරහා නිදහස් අධ්‍යාපන ක‍්‍රමයටම ගරහති.

ප‍්‍රශ්න විසදා ගැනීමෙ හොදම හා පහසුම ක‍්‍රමය ලෙස ප‍්‍රතිවාදියාට අම්බානට තැලීම අපේ ජාතිය සතු උත්කෘෂ්ඨ ලක්ෂණයකි.

එය නැතිකිරීමට පවතින අධ්‍යාපනයට ද බැරිව තිබෙ.

මර්දනයම සිය ආත්ම ප‍්‍රකාශනය කරගත් රාජ්‍ය පාලකයින්ට ඔටුනු පළදවන්නට දිවා රාත‍්‍රි වෙහෙසන උපකුලපතිවරු හා ආචාර්ය මණ්ඩලයකින් සිසුන්ට ලැබිය හැකි මග පෙන්වීම කුමක් දැයි මොනවට පැහැදිලි කරන්නට මෙ සිද්ධිය සමත්වී තිබෙ.

ප‍්‍රශ්න විසදා ගැනීමෙ හොදම හා පහසුම ක‍්‍රමය ලෙස ප‍්‍රතිවාදියාට අම්බානට තැලීම සරසවිය තුළ ප‍්‍රකාශයට පත්වීම පිටුපස ඇත්තේ අධ්‍යාපනයේ නොහැකියාව පමණක් නොවෙ. ජාතියක් හැටියට අපේ නොහැකියාව ය.

චන්දය ඉල්ලන එක පිළේ ඇත්තන්ට වත් සාමාදානයෙන් චන්දය ඉල්ලන්නට බැරි රටක සරසවි සිසුන්ගෙන් පමණක් සාම්‍යයක් උපේක්ෂාවක් අපේක්ෂා කිරිම තේරුමක් නැති වැඩකි.

එසේ පවසන අතරෙම අපි සරසවි සිසුන්ට මෙසේ කියමු. උඹලා ද රටෙ ජරාවෙ කොටසක් බව ඔය තරම හයියෙන් කියා සිටින්නේ මන්ද?

විමසීම, ගවෙෂණය හා පර්යේෂණයන් කළ යුතු අධ්‍යයන මධ්‍යස්ථානයක වන පොත් කරවීමට එරෙහිව සටන් නොකර එකිනෙකා ගහ මරා ගැනීම හරහා උඹලාත් පෙන්නන්නේ රටෙ නොහැකියාවෙන් මිදීමට උඹලාට ද නොහැකිවී ඇති බව නොවෙ ද?

මෙ ආයාචනය සරසවිය තුළ තවමත් ඉතිරිව ඇතැයි අප උපකල්පනය කරන පෙරටුගාමී සිසුන්ට ය.

ජාතියේ අඩුපාඩුකම් හරිහරියට කරට ගන්නේ නැතිව විමසන්නට දැන්වත් පුරුදුවෙයල්ලා!

(එසේ නොවුනහොත් තහවුරු වන්නේ උඹලා ගිරවුන්ට පමණක් සමානය යන සමාජ මතයයි. ගිරවුන්ට හැක්කේ උන්ට ඉගැන්වූ දෙ කරන්නට පමණකි. ඉනුත් උන් වඩාත් දක්ෂ පුනරුච්චාරණයට ය.)

Posted in: Uncategorized