දරුවන් ගගට විසිකරන අම්මලා

Posted on March 16, 2010



අවුරුදු තුනක්වූ තම දරුවා ගගට විසි කළ අම්මා කෙනෙක් පිළිබද පුවත මේ දිනවල දනන් තුඩග රැව්දෙන මාතෘකාවක්ව තිබේ. මෙහෙමත් අම්මලා යයි කම්පා වන උපාසකඅම්මලා ද මේ අතර වෙයි. ඒකිට පිස්සු කියා මේ ශෝචනීය පුවත එලෙසම වළ දමන්නට තවත් බොහෝ දෙනෙක් කැමති ය.

ඒ දෙවර්ගයම මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයට තිබෙන වගකීම ප්‍රශ්න කරන්නට උත්සුක වන්නේ නැත.

ඒ අම්මා විසින් එසේ ගගට විසිකරන ලද්දේ තමන්ගේ පස්වෙනි දරුවා ය. මේ රටේ උපත්පාලන උපදෙස් ක්‍රියාත්මක වෙයි. සාමාන්‍යයෙන් දරුවන් තුන්දෙනෙක් ලැබුනු මවකට උපත්පාලනයේ ඇති වැදගත් කම කියා තම කැමැත්තෙන් වද සැත්කම කර ගැනීමට ඉඩ කඩ සළසා දෙන බව අපට ඇති වැටහීම ය.

ආර්ථික අහේනිය තියෙන පවුලක අම්මා කෙනෙකු එවැනි යෝජනාවක් ඉවත දැමීමට හේතුවක් නැත. ඇත්තටම එය දරුවා අවුරුදු තුනක් ලොකු මහත් කර ගගට තල්ලු කර දැමීමට වඩා මානුෂික ය.

එහෙත් එය එසේ නොවුයේ ඇයි?

සිංහල ජාතිය වදවෙනවා යයි කියා වැඩි වැඩියෙන් වැදීමට පොළඹවන සමාජ ව්‍යාපාරයක් රට තුළ තිබේ. සමහර වෛද්‍යවරුද එහි සාමාජිකයෝ ය. උපත්පාලනය තමන්ගේ අයිතියක් යැයි නොදන්නා අහිංසක අම්මලා ලවා ජාතියේ ඉලක්කම් ගාන වැඩිකරලීමට උන් උනන්දුවක් දක්වා තිබේ දැයි සොයා බැලීම අවශ්‍ය ය.

වැරදි කළ අම්මා කෙනෙක් දගගෙට දක්වා තමන්ගේ අත් පිසදා ගැනීමට සමාජය කැමතිවනු ඇතත් මේ මරණය අපට උගන්වන පාඩම් මොනවාදැයි සොයා බැලීම‍ට මේ රටේ සමාජවිද්‍යාව විශයක් හැටියට හදාරණ විශ්ව විද්‍යාලවත් කටයුතු කරන්නේ නම් අපේ හෙට දවස මීට වඩා යහපත් වනු ඇත.

නැත්නම් ඉතින් පිරිහෙන සමාජය ගැන බටහිර අධිරාජ්‍යවාදී මුවහමට හා විවෘත ආර්ථිකයට වගකීම පවරමින් තවත් කලක් දැහැමෙන් සෙමෙන් ජීවත්විය හැකි ය.

අනිච්චාවත සංඛාරා!

Posted in: Uncategorized