වාසු නම් වාමාංශිකයා හා මිලින්ද මොර‍ගොඩ නම් ලිබරල්වාදියා

Posted on March 15, 2010



වාසු කලෙක උග්‍ර වාමාංශිකයෙක්ව සිටියේ ය. පීඩිත ජනතාවගේ පමණක් නොව පීඩිත ජාතීන්ගේ ද පැත්ත ගෙන සටන් වැදුනේ ය. වයසට ගිය නිසාදෝ උදා නොවන සමාජවාදයක් වෙනුවෙන් කඹුරනු වෙනුවට ප්‍රායෝගික මිනිසෙක් ලෙස ජීවත්වීම මැනවැයි සිතා තම අතීතය තම අතීත මිතුරාටම සින්නකරයට විකුණා දමා ජීවත්වන්නට මගක් පාදා ගන්නට ඔහුට සිතුනේ ය. තමන් කලක් විවේචනය කළ පැරණි වම ගිය මාවතේම ඔහු දැන් ගමන් ගන්නේ ය. ඒ අතරේ වමේ කමට චන්දය දෙන උන්ගේ චන්දය සම්මාදම් කොට රජතුමාට පිරිනැමීමද ඔහු අතින් සිදුවිය.

මිලින්ද මොරගොඩ උග්‍ර ලිබරල් වාදියෙක්ව සිටියේ ය. වාසුට වමේ කම විකුණන්නට පුලුවන් නම් විකිණිම කොහොමටත් ප්‍රශ්නයක් නැති ලිබරල් වාදියෙකුට ලිබරල්කම විකුණන එක ප්‍රශ්නයක් නැතැයි සිතා මීට ටික කලකට පෙර ලිබරල්වාදය මිලින්ද වැඩවසම් රජතුමාට පුද කර සිටියේ ය. එසේ වුව ද තවමත් ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී සිටින මිලින්ද දැන් ප්‍රායෝගික ලිබරල්වාදයක් ගැන කතා කරයි. ඒ මගින් ලිබරල් චන්ද රජතුමාට සම්මාදම් කර දිමේ පුණ්‍ය කර්මයට ද හවුල්වෙයි.

මිලින්ද වාසුට වඩා වෙනස් ය. වාසු දැන් ඉස්සර පරිද්දෙන් කතා නොකරයි. පීඩිත ජාතීන් ගැන කතා කිරීම කොහෙත්ම නොකරයි. එහෙත් මිලින්ද තවමත් කතා කරයි. ලිබරල්වාදය ගැන කතා කරයි. ලිබරල්වාදයේ අංශුමාත්‍රයක්වත් ඉතිරිව නැති කදවුරක සිට ලිබරල්වාදය ගැන කතා කරයි.

ඒ නිසාම මිලින්දව විමසීම අවශ්‍ය වෙයි.

නීතියේ ආධිපත්‍ය පිලිගන්නා ලිබරල් වාදියෙක් ලෙස පෙනී සිටින මිලින්ද ඒ නිසාම තමන් නීතිවිරෝධී පෝස්ටර ‍කටවුට් ප්‍රදර්ශනය නොකරන බව කියයි. එයින් නොකියා කියන්නේ තවමත් ලිබරල්වාදය වෙනුවෙන් අඩුවශයෙන් පෞද්ගලිකව හෝ පෙනී සිටීමට එතුමාගේ ඇති කැමැත්ත යයි කෙනෙකුට සිතිය හැකි ය.

ඒත් සියල්ල වාෂ්ප වන ලෝකයේ මිලින්දගේ ලිබරල්වාදය පමණක් වාෂ්ප නොවී ‍තිබිය නොහැකි බව ඔප්පු කරමින් මිලින්ද තමන් පෝස්ටර කටවුට් නොගසා ඉතිරි කරන මුදල් පන්සල්වලට ප්‍රසිද්ධියේ දන්දෙයි. මැතිවරණයක් අභියස කෙරෙන මේ දන්දීම මිලින්දගේ ලිබරල් මනසට පාගාවක් හැටියට නොදැනෙන්නේ එතුමන් පෙරමෙන් නොව මහපොළොවේ පය ගසා සිටින නිසා ය. වෙනදා මෙන් නොව ප්‍රායෝගික ලිබරල් වාදයක් දේශනා කරන නිසා ය.

මේ ගෙවී යන්නේ සියලු පරමාදර්ශ රජු ඉදිරියේ දණ ගස්නා මොහොත ය. සියලු දර්ශන පෙරහැරේ රජුට කඩේ යන මොහොත ය. රජතුමා හැරුණුවිට ඉතිරි සියල්ල අතුරුදහන් වී යන මොහොත ය.

වම කියා සිතා උස්සා බැලුවහම ඊට යටින් ඉන්නේ රජු ය. ලිබරල් කියා උස්සා බැලුවහම එහි ඉන්නේත් රජු ය. රජු රජ කිරීම සදහා කරණ ඕනෑම දෙයක් පූජනීය ය. ඉතිරි ඒවා සියල්ල මායාවන් ය.

අපට අජූවක් දැනුනාට බොහෝ අයට මේ අජූව නොදැනේ. ඒ උන් උන්ටම රැවටී ඇති නිසා ය.

අනිච්චාවත සංඛාරා! රජු හැරුණු කොට සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය.

Posted in: Uncategorized