ආපසු මව්බිමට

Posted on March 14, 2010



මම සිංහල බෞද්ධයෙක්මි. එහෙත් අලංකාර යයි බොහෝ දෙනා සිතන ඉන් සමහරු ආඩම්බරයෙන් පළදින මෙම සිංහල හා බෞද්ධ සාටක දෙකම පැළදීමට මම අකමැත්තෙමි.

එයින් කිසිලෙසකින් වත් සිංහලයට හෝ බුදුදහමට මගේ අකමැත්තක් ඇතැයි අදහස් නොවේ.

සිංහලයට ඇති මගේ කැමැත්ත එහි ඇති භාෂාවට මගේ ඇති සම්බන්ධය යි. එය මගෙ මව් බසයි. මනා ලෙස හසුරුවන්නේ නම් එය ලොව ඇති අනගිතම බසකි. මෙ නිසා ම බස මරණ බොහෝ මිනිසුන් සමග මට ඇත්තේ තරහකි. ලියන විට හැකි තාක් දුරට බස නොමරා ලිවීමට ද මම ඒ නිසා ම මහන්සි ගනිමි.

සිංහලයෙක් ලෙස අභිමානයෙන් ජීවත්විය හැකි දවසක් ගැන මට සිහිනයක් තිබේ. එහෙත් දැනට එසේ ජීවත් විය හැකි තත්වයක් සිංහල ජන සමාජය විසින් සිංහලයාට ලබාදී නැත. ඒ වෙනුවට ඇත්තේ සිංහලයෙකැයි කීම ලජ්ජාගෙන දෙන එකක් කර තිබීම ය.

සිංහලයෙක් ලෙස අභිමානයෙන් ජීවත්විය හැකි දවසක් ගැන අප දකින ඒ සිහිනය සැබෑවක් වන්නේ පටු සිංහල ජාතිවාදයෙන් සිංහල ජනතාව මුදාගත් දවසක ය. ඒ ගැන බලාපොරොත්තුවක් ද මට තිබේ.

ඒ දවස උදාවනු ඇත්තේ සැකයෙන් බියෙන් තොරව සෙසු ජාතීන්ට සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට තරම් අප බියෙන් ඈත්වූ දවසක ය. ඒ සදහා අරගල කිරීම මෙම බ්ලොග් අඩවිය පටන් ගත් දා සිටම අපි කර ගෙන ගියෙමු.

මා බෞද්ධාගමට කැමැත්තේ එහි ඇති නිදහස් විමර්ශනශීලිත්වය නිසා ය. එහෙත් බෞද්ධයෙකැයි අභිමානයෙන් කීමට පුලුවන් කමක් නැතිවිම ගැන මට ඇත්තේ දුකකි. එය දැනට හීනමානයෙන් පෙළෙන තමන් ගිල ගැනීමට බාහිර බලවේගයන් ක‍්‍රියාත්මක වෙතැයි යන අභූත බියකින් පෙළෙන මිනිසුන් විසින් වෛශ්‍ය වෘත්තියේ යොදවා තිබේ.

එහෙත් බුද්ධාගම එයින් නිදහස් කරගත හැකි යයි ද කවදා හෝබෞද්ධයෙකැයි අභිමානයෙන් කීමට දවසක් එනු ඇතැයි අපේක්ෂාවක් මට තිබේ. එය උදාකර ගැනීම සදහා ද විශාල සටනක් කිරිමට සිදුව තිබේ. ඒ සදහා බුද්ධ ධර්මය රාජ්‍ය මර්දනය හා සම්බන්ධ කරගැනීමෙන් නිදහස් කරගත යුතුව තිබේ. අප බ්ලොග් අඩවියෙන් ඒ සදහා ද හැකි තරම් දායක වූවා ඔබට මතක ඇත.

සිංහල බෞද්ධයින්ගේ සැබෑ සතුරා ඉන්නේ බාහිරින් නොව අභ්‍යන්තරයේ ය.

බාහිර සතුරෙක් පෙන්වා මිනිසුන්ගේ ඇස්වලට වැලි ගසා සිංහලයින්ගේත් බෞද්ධයින්ගේත් සැබෑ අභිවෘද්ධිය වළකා දමා ඇත්තේ තමන් සිංහල බෞද්ධයින් කියා ගන්නා අය විසිනි. උන් සිංහල බෞද්ධ දේශපේ‍්‍රමය හා ආගමික බැතිය විකුණා ජිවත් වෙති.

බොහෝ දෙනා සිතන්නේ උන් මෙය විකුණන්නේ එයට තිබෙන ආදරය නිසා කියා ය. සැබෑව ඉන් බොහෝ ඈත ය.

අපි හෙටත් සිංහල බෞද්ධයෙක් ලෙස අභිමානයෙන් වෙසෙන්නට පුලුවන් වටපිටාවක් ගොඩ නැගීමට සටන් කරමු. එහෙත් ඒ දවස උදාවන තෙක් සිංහලයෙකැයි බෞද්ධයෙකැයි නොකියා හදුන්වා නොගෙන සිටිමට දැඩි උත්සහයක් ද දරමු.

අපගේ අස්ථානය බොහෝ දෙනෙකුට තේරුණේ නැත. එය අපේ නොව රටේ අවාසනාව ය. තමන් මුදලට ආත්මය පාවා දෙන නිසා අනිත් උනුත් එසේ කරතැයි සිතන මිනිස්සු ඩොලර් සදහා මේ සියල්ල කරතැයි අපට අවලාද නැගූහ. ඒ උන්ගේ අවබෝධයේ තරම ය.

ඒ අවලාද මැද්දේ ද දේශපාලන වේදිකාවෙන් බහුරූ කෝලම් බැස යන කම් දේශපාලන සංවාදයක් ද මෙම අඩවිය තුළින් අපි ගෙන ගියෙමු. දේශපාලනඥයින් රජ කරවීම අපේ ව්‍යාපෘතියක් නොවෙතත් රජ වී ඉන්නා අය රජකම් නිසිලෙස නොකරන කල උන් නෙරපා හරින තෙක් ඝෝසා කිරීම අපේ ව්‍යපෘතියක් වෙයි.

ඒ අරගල දෙක දෙකක් නොව එකක් ලෙස අපි දකිමු.

මෙ ටික ලිව්වේ කියවන ඔබට වඩා ලියන මට කරගෙන යන්නේ කුමක් දැයි පැහැදිලි විය යුතු බැවිනි. පහුගිය දොහේ රජා පැන්නීමට කළ උත්සහය තුළ අපේ මූලික අරමුණ සමහර විට යටපත් වූ බැවිනි. ආණ්ඩුව පැරදීමෙන් රටට විමුක්තියක් අත්වෙතැයි යන මිරිගුවක් අපට කිසිදා තිබුනේ නැත. ආණ්ඩුව පැරදවීමට තැත් කිරීමෙන් අප උත්සහ කළේ සංවාදයට අවකාශයක් ලබා ගන්නට ය. එය සාර්ථක වූයේ නැත.

බලාපොරොත්තු අත්හැරිය යුතු නැති බව මටම නැවතත් කියා ගත යුතු ය. මියන්මාරයෙන් නැව් නැග නැවත මව්බිමට පැමිණිය යුතු කාලය එළැඹ තිබේ.

ලෝකය ඉදිරියට යන්නේ බලාපොරොත්තු අත්හැරීමට අකමැති මිනිසුන් නිසා ය.

එයින් අදහස්වන්නේ අපගේ බලාපොරොත්තු බිද නොවැටුනු බව නොවේ. ඒවා අත්නොහැරිය යුතු යයි හැගුණු බව පමණකි.

Posted in: Uncategorized