මියන්මාරයේ ඇවිද යන විට දුටු අරුම පුදුම පෝස්ටරය

Posted on March 9, 2010



මියන්මාරයට ආ නමුත් ඒ හැටි විස්තරයක් කියන්නට තවමත් ඉඩක් නොලද්දෙමු. මියන්මාරය නිකැළැල් රටකැයි කිව හැකි ය. බැලූ බැලු තැන ගොවිතැන් මිසක වෙනත් කටයුත්තක් කෙරෙන බවක් පෙනෙන්නට නැත. අපි රට තොට තොරතුරු සොයනු පිණිස මග ඇවිද්දෙමු. අපේ තෝල්කයා අවශ්‍ය වුනොත් පරිවර්ථනය කරන්නට සූදානම්ව සිටියේ ය.

අප හිත ගියේ බොහෝ තැන්වල දක්නට ලැබුණු එක් පෝස්ටරයක් වෙත ය. පැරණි ජවිපෙ පෝස්ටර් සිහිකරමින් එය ලියා තිබුනේ අත් අකුරිනි. එහෙත් එකම වර්ණ යොදා තිබුනු නිසාත් එකම ශෛලියක් දුටු නිසාත් ඒ කුමක් දැයි තෝල්කයාගෙන් ඇසීමු

ඔහුගේ පරිවර්ථනය අනුව පෝස්ටරය මෙසේ ය.

අපට නායකයෙකු ඕනෑකර තිබේ. ඒ නායකයා සතු සුදුසුකම් අතර පහත සදහන් දේ මූලික ය.

  1. මට පෙර රට යන්න ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු ය. මැතිවරණ පැවැත්විය යුත්තේත් අනෙත් කටයුතු සිදුකළ යුත්තේත් තමන්ට සුභ දායක කාලවකවානුවලට නොව රටට අවශ්‍ය කාලවකවානුවල බව මෙහිදී විශේෂයෙන් පෙන්වීමට හැකි විය යුතු ය.
  2. තමන්ගේ නම හා රූපය යන යන තැන දැකීමේ රෝගය නොවැළදුන කෙනෙකු විය යුතු ය.
  3. සළකන්නට පරපුරක් නැති කෙනෙකු විය යුතු ය
  4. තමන්ට ප්‍රතිපක්ෂ මත ඉවසන ඒවාට සවන් දෙන ඒවාට අවංකව පිළිතුරු දෙනා ඒවා අතරින් නිවැරදි දෑ පිළිගන්නා එසේ නිවැරදි මතයන්ට ක්‍රියාත්මකවීමට ඉඩ සලසනා සංවාද ශීලි හා විවෘත කෙනෙකු විය යුතු ය
  5. නීතිය තමන්ටත් තම නෑදෑයින්ටත් සගයින්ටත් එක ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා කෙනෙකු විය යුතු ය
  6. විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල උපරිම පාරදෘෂ්‍ය භාවයෙන් කටයුතු කරන කෙනෙක් විය යුතු ය
  7. අයත්වන්නේ කවර පිළට ද යන්න ගැන සොයන්නේ නැතිව දක්ෂයින්ට සුදුසු ස්ථානයන් ලබා දෙන කෙනෙකු විය යුතු ය.
  8. අයත් වන්නේ කවර පිළට ද යන්නා ගැන සොයන්නේ නැතිව අදක්ෂයින් වංචාකාරයින් හොරු හා දූෂණයේ යෙදෙන්නන් තනතුරු වලින් එළවා දැමීමට තරමේ නිර්භීත කෙනෙකු විය යුතු ය.
  9. රටේ ආයතන හරහා වැඩ ක්‍රියාත්මක කරන්නට පසුබිම සකස් කරන කෙනෙකු මිසක තමන්ගේ මැදිහත්වීමෙන් සියල්ල සිදුවන බවට පෙන්වා තිබෙන ආයතන හෑල්ලු කරන මට්ටමේ කෙනෙකු නොවිය යුතු ය.
  10. රටේ සියලු ජාතීන්ට හා ආගම් අදහන්නන්ට එක සමාන ඉඩ ප්‍රස්ථා ඇති එය වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකි කෙනෙකු විය යුතු ය රජයේ ආයතන තුළ තනි ආගමකට අයිති දෑ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදී වැළැක්වීමට තරම් කොන්දක් තිබෙන කෙනෙක් වීම මෙහිදී අනිවාර්යය වේ
  11. ලැබෙන කුට්ටිය අනුව නොව රටට ලැබෙන ප්‍රතිලාභය සළකා සංවර්ධන ව්‍යාපෘතින් මෙහෙයවන කෙනෙක් විය යුතු ය.
  12. තමන් නියෝජනය කරන පුංචි පළාතකට සියලු වරප්‍රසාද දෙමින් අනෙත් පළාත්වලට කුඩම්මාගේ සැළකිලි දක්වන කෙනෙකු නොව මුලු රටටම ඒ ඒ පළාතේ වුවමනාවන්ට අනුව සළකන නායකයෙකු විය යුතු ය.
  13. තමන් පෙරළා දමන්නට කුමන්ත්‍රණකරනවාය යන අනියත බයින් පෙළෙමින් අනෙත් සියලු වැඩ කටයුතු අමතක කොට කුමන්ත්‍රණකරුවන් පසුපසම එළවන රෝගියෙකු නොවිය යුතු ය.
  14. අද ලැබෙන ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රටේ දිගුකාලීන ආර්ථික හා සමාජ අභිවෘද්ධිය සදහා ජනප්‍රිය නොවන පියවර පවා ගත හැකි තරමේ නිර්භය කෙනෙක් විය යුතු ය.

කන්න බත් ඇති තරම් තියෙන නිසා මියන්මාරයේ කන්න දෙනව නම් බොන්න දෙනව නම් සිංදුව අදාළ නැතිවා වන්නට පුලුවන. එහෙත් ප්‍රතිපත්ති කන්න දැයි අසන ලංකාව වගේ සිට පැමිණෙන කෙනෙකුට මේ පෝස්ටරයේ අවුලක් තිබේ.

එකත් එකට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලට රැවටී ගසා ඇති පෝස්ටරයක් විය නොහැකි ද? ලංකාවෙන් පැමිණෙන අපට ස්වභා‍වයෙන්ම එන්නේ ඒ ප්‍රශ්නයයි. මෙවැනි අතින් ලියන පෝස්ටරයක් ගැසීමට නම් ඩොලර් ඕනැ නැත. ඒත් ලියවන්නට නම් එකත් එකටම ඩොලර් දිය හැකි ය.

ලංකාවේ මෙන්ම මියන්මාරයේ පාලකයෝද බටහිර කුමන්ත්‍රණ පිළිබද ගූ බයෙන් ජිවත්වෙති. එහෙම තත්වයක් යටතේ මෙවැනි පෝස්ටරයක් ගසන්නට ඉඩක් ලබා ගන්නේ කෙසේ ද? අපට ඊලගට එන්නේ ඒ ප්‍රශ්නයයි.

මුද්‍රාණලයක මුද්‍රණය කර නැති නිසා අල්ලන්නට බැරි ය. අතින් එවෙලේ ලියන නිසා අත්අඩංගුවට ගැනීමට බැරි ය. එහෙම බැලුවහම තාක්ෂණය නැති එක හොද ය. කොරියාවේ දස දහසකට පරිඝනක 4600 ක් තිබෙන විට ලංකාවේ ඇත්තේ 117 කි. මියන්මාරයේ එය 5 කි. ඒ අතින් මියන්මාරය ‘අතින් පෝස්ටර් ඇදීම’ ගැන පුදුම විය නොහැකි ය. බටහිර අධිරාජ්‍යවාදීන්ට මියන්මාරයට කළ හැකි බලපෑම මේ නිසා ද අල්ප ය.

එහෙත් උන් මියන්මාරය අස්ථාවර කිරීමෙ උන්ගේ වැඩපිළිවෙල මොහොතකට වත් අත්හැර නැති බව නායකයෙක් ඉල්ලා ගසා තිබෙන මෙම පෝස්ටරයෙන්ම පෙනේ.

හමුදා පාලනයක් තිබුනේ නැත්නම් මෙලහකටත් මියන්මාරය අවුන්සාන් සුකී විසින් බටහිරට උගස් කර හමාර ය.

අපේ මිනිසුන්ට තියෙන දේශපේ‍්‍රමයෙන් කොටසක් වත් තිබුනා නම් මියන්මාරයේ හමුදාපාලනයක් ගොඩ නැගෙන්නේ නැත. එහෙම නම් මිලිටරි පාලනයක් අටවා නොගෙන චන්දයෙන්ම ඔය ටික කරන්නට තිබිණි. උන් බෞද්ධ වුනාට අපේ මිනිසුන් වගේ නොව පට්ට පල් මෝඩයෝ ය. එහෙම මෝඩයින්ට පහසුවෙන් දේශපේ‍්‍රමය විකිණිය නොහැකිය.

Posted in: Uncategorized