අපේ දුක දළදා හාමුදුරුවන්ටවත් කියමු ද?

Posted on March 7, 2010



මේ දවස්වල රස්නය ඉවසන්නට බැරි ය. වහින දිනක් ගැන කියන්නට දන්නා කෙනෙක් ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්වත් හොයා ගන්නට බැරි ය.

දේවෝ වස්සතු කාලෙන
සබ්බ සම්පත්ති හේතුච
භී‍තෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ

ඉස්සර රජතුමා ජාතිය අමතන වාරයක් පාසා ඇසෙන මේ ගාථාව දැන් කාලෙකින් ඇහුනේ ද නැත. එයින් කියවෙන්නේ රජවරු ධාර්මික වූ විට දෙවියන් පවා වැසි වස්සන බව ද?

ධාර්මික රජවරු පතන්නට අපට අයිතියක් නැත. ඒ අප ධාර්මික නොවන බැවිනි.

ඒ වුනත් ධාර්මිකව දිවිගෙවන මිනිස්සු ද අප අතර සිටිති. අප බහුතරයක් ධාර්මික නොවන නිසා උන් දුක් විදිය යුතු වන්නේ ඇයි දැයි දෙයියන් අපට පහදා දෙන්නේ නැත.

සමහර විට ධාර්මික මිනිසුන් හරියට ධාර්මික වුනා නම් අධාර්මික මිනිසුන් මෙතරම් බහුලව ඉන්නට පුලුවන් කමක් නැතැයි දෙයියන් සිතුවා වත් ද?

ඇත්තටම දළදා හාමුදුරුවන්ට වැස්ස ඇති කළ හැකි යයි බොහෝ දෙනා විශ්වාස කරති. මේ ගැන සංවාදයක් මේ ‍බ්ලොග් අඩවියේ ද පළවුනු අතර එය ප්‍රතිචාර 100 ට ආසන්න සංඛ්‍යාවක් ද ලැබිණ (https://beyondframe.wordpress.com/2009/03/10/%E0%B6%85%E0%B6%B4%E0%B6%A7-%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92/). අපට මේ මොහොතේ අවශ්‍ය ඒ සංවාදය නැවත ඇරඹීමට නොවේ. පුලුවන් කමක් ඇත්නම් දළදා හාමුදුරුවන්ට අපේ දුක කියා උන්නාන්සේ ලවා වස්සවා ගන්නට ය.

දළදා හාමුදුරුවනේ කවුරුවත් නොබලන අප දෙස ඔබ වහන්සේගේ කුළුණු ගුණයවත් පා වැස්සක් වස්සවන්නේ නම් හොද ය. නැත්නම් අපි අනාථ ය.

මේ අයැදුම කෙළින්ම ඔබවහන්සේටම යොමු කරන්නේ ඔබවහන්සේව බාරයට ගෙන ඇති උරුමක්කාරයින් බොහෝ දෙනෙකුට ජනතාවගේ දුක නොතේරෙන නිසා ය. ඒ අය ඔබවහන්සේව සින්නක්කරේට ලියා ගෙන ඇති නිසා ය. කෘතිමව සීත කරගෙන ඇති කාමර වල දිවි ගෙවිය හැකි තරමට උන් අත මුදල් ගැවසෙන නිසා රස්නය උන්ට අපට මෙන් නොදැනෙන නිසා ය.

ඒ නිසාම, තරහ අවසර, වඩිනු මැන වස්සමින් සිරිලක පුරා පැතිර යන නියංසාය රෝබිය ඇතුළු සියලු බිය පහකරමින්!

(නැත්නම් මේ තරහට මිනිසුන් අප්‍රේල් 8 දාට ආණ්ඩුව‍ට කෙළවෙන්නම චන්දය දෙන්නට පුලුවන. එහෙම වුනොත් නම් අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණකරුවන් විසින් මේ ධර්ම ද්වීපය ගිල ගන්නට වුනත් පුලුවන).

මියන්මාරයේ සිටියත් තවමත් හදවත ඇත්තේ ලංකාවේ ය. ඒ නිසාම මිනිසුන් විදින දාහය ඈත සිටියත් අපට දැනේ. මියන්මාරයේ සිට අප කරන මේ පෙරැත්තය ඔබට ලගා වෙනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු. ඒ ඔබේ බල මහිමය ලංකාවෙන් ඔබ්බට ගොහින් මුලු ලෝකයටම පැතිර ඇති බව අප අසා ඇති නිසා ය.

Posted in: Uncategorized