අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමේ තවත් අවස්ථාවක්!

Posted on March 2, 2010



බලන්න අප්පා ආණ්ඩුව කොච්චර ශෝක් ද? ආයිත් මැතිවරණයක්! ඒක මහ මැතිවරණය! එතනින් ඉවර වේවි ද?

අයියෝ කලබල වෙන්නට එපා. බය වෙන්නත් එපා. අපේ ආණ්ඩුව ඔය බබාලා අමතක කරන්නේ නැති බවට මෙන්න කැට.

ඇත්තටම කියනවා නම් මහ මැතිවරණයට පසු තවත් මැතිවරණයක් තිබේ. ඒ ප්‍රාදේශීය සභා ය. ඒවාත් හුදී ජන පහන් සංවේගය උදෙසා කළින් කළාක් මෙන් පළාත් මට්ටමෙන් පැවැත්වීමේ අදහසක් ද තිබේ. ඒ නිසා හිත කලබල කරගන්නේ නැතිව ඉන්න.

රතිඤ්ඤා කර්මාන්තය හා මුද්‍රණ කර්මාන්තය හරහා රටේ ආර්ථිකය ඉහළ නැංවීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තව දුරටත් ක්‍රියාත්මක කරමින් ද රටේ ජනතාවට විනෝදය සැපයීමේ කාර්යය තවදුරටත් අනවරතව පවත්වාගෙන යමින් ද එය පළාත් මට්ටමෙන් පැවැත්විය හැකි ය. එතකොට 2010 වසරත් ඔබට සුභ අනාගතයක් පතමින් අපට සුවසේ ගෙවා දැමිය හැකි ය. මේ අවුරුද්දේ ලෝකයේ සතුටින්ම ඉන්නා මිනිසුන්ගේ රට බවට ශ්‍රී ලංකාව පත් කර ගත හැකි ය.

බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පැරදවිය හැක්කේ ද වේදිකාව දෙවනත් කරමින් අධිරාජ්‍යවාදීන් කම්බස් කිරීමෙනි. ඒ සදහා මැතිවරණ නොනවත්වා පවත්වා ගෙන යා යුතු ය. ඉදින් එසේ කළ නොහැකි වේයැයි බියක් පහළව තිබුනේ නම් දැන් එය නැති කර ගත හැකි ය.

රජයට දිගින් දිගටම ජනතාව සිටින බව ලෝකයටත් ඒ ජනතාවටමත් ඒත්තු ගැන්වීම ද ඒ තරමටම අත්‍යවශ්‍ය ය.

අනෙත් අතට මැතිවරණ පැවතුනේ නැත්නම් මව්බිමේ පංචායුදයට වැඩක් නැතිව එය මළකන්නට ඉඩ තිබේ. එහෙම වුනොත් මව්බිමට යන කල දවස කුමක් විය හැකි දැයි නිකමට වාගේ හිතා බලන්න. එහෙම හිතෙන කොටත් හිරිගඩු පිපෙන්නේ නැත් ද?

මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබන්නට බැරිවූ අයට තවත් වාරයක් ප්‍රාදේශිය සභා හරහා ඒ සදහා අවකාශයක් ද විවෘත‍ වෙයි. එය ද ඇතිවන සංවේගයන් අඩු කිරීමේ මගකි. කෙනෙකුගේ දුකක දී පිහිටුවීම අපේ හැදියාව නොවේද? ඕකට ඉතින් සල්ලි වියදම් වෙතැයි අඩො වැඩියා නගන්නේ පොළොවේ පය ගසා නැති ජන මූලයන් නැති විජාතික බලවේගවල පිල්ලි පමණකි.

මෙසේ එකී නොකී හේතු නිසා මේ වසර ද ඉමහත් බලාපො‍රොත්තු තබා ගත හැකි වසරකි.

මියන්මාරයේ මිනිස්සු විපක්ෂයට චන්දය දෙන නිසා එහි මැතිවරණ පැවැත්වෙන්නේ නැත. ඒ අතින් මියන්මාරය අපට වඩා සවුත්තු ය.

සතුරා කුමන්ත්‍රණයකට ලෑස්තිවන්නේ නම් අපත් මියන්මාරයේ කලාක් මෙන් මැතිවරණ සිතියම අකුලන්නට ලෑස්ති ය. මියන්මාරයේ එය කළේ කෙසේ දැයි දැන පාලකයින් දැනුවත් කිරීම අප ග‍මනේ තවත් එක් අරමුණකි.

කොහෙද මේකේ ඉන්න එක වසවර්තියෙක්වත් කටක් ඇරල මුකුත් කියන එකක්යැයි? එක්කො මුන් ආණ්ඩුවට හොදටම කැමතියි. නැත්නම් මතක් කරන්නවත් අප්පිරියා තරමට අකමැතියි.

අවුන්සාන් සුකීවවත් මුණ ගැහෙන්න වෙයි ද දන්නෙ නැහැ සිද්ධවෙල තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න. මාරයත් මිය ගොහින් නිසා මේකට මියන්මාරය කියල කියනවයි කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමයි.

අනේ හැබෑටම ලිබියාවට හරි ඉරානයට හරි යන්නේ නැතිව මාත් කරගත්ත වින්නැහියක්!

Posted in: Uncategorized