අන්තිමේ දී මියන්මාරයට පැමිණියෙමු

Posted on February 27, 2010



මියන්මාරය දැන් නම් පෙනෙන දුරක ය. වෙරළට පැමිණෙන්නටත් පෙර වෙරළ ආරක්ෂක භටයින් විසින් අ‍පගේ බොට්ටුව අත් අඩංගුවට ගන්නා ලද්දේ ය.

කුණු හරුප වරුසාවක් එල්ලකොට අපව යටත් කර ගන්නා ලද්දේ ය. කුණුහරුප කියන ලද්දේ මියන්මාර බසින් නිසා අපි අපහසුතාවයෙන් ගැලවුන ද මවු මතක් කරමින් බැන්න බව කීවේ අපගේ සංක්‍රමණයේ වගකීම බාරගත් එවෙලේ භාෂා පරිවර්ථකයා වූ තෝල්කයා ය.

ගොඩ බසින්නට අවසර දිය හැක්කේ ඩොලර් වලින් ‍ගාස්තු ගෙවන්නට ලෑස්ති නම් පමණක් යැයි මියන්මාර් දේශප්‍රේමී දේශාරක්ෂකයන් විසින් දන්වා තිබිණි. උන් ඉල්ලන ගානෙන් අපව ඕස්ට්‍රේලියාවටත් ගෙන ගොස් එහි නීතිඥයෙකුටත් ගෙවා සරණාගත තත්වයක් ලබා ගත හැකි යයි කී තෝල්කයා වැඩේ ගොඩින් බේරා ගන්නට තවත් පොඩ්‍ඩක් ඉවසන මෙන් කියා සිටියේ ය.

ඊළගට තෝල්කයා කළේ අපෙන් ඉල්ලා ගෙන තිබූ ඩොලර් නෝට්ටු කීපයක් උන්ට පෙන්වීම ය. නලා හඩට දැපෙන වැටුන නයින් මෙන් උන් ඒ දෙස බලා සිටියෝ ය.

උන්ට ඊළගට අපේ සාක්කු පරීක්ෂා කිරීමට අවශ්‍ය විය. මගේ සාක්කුවේ හංගා තිබූ නොර්වේ කාර්යාලයෙන් ලැබුණු නෝට්ටු කීපය ද උන්ට පරිත්‍යාග කිරීමට අවසානයේ මට සිදුවිය. ඔක්කොම සූරා ගත් පසු මුන් අපව මහමුහුදට ඇද දමන්නට ඉඩ නැත්දැයි නෝට්ටු කීපයෙන් සමුගන්නා ගමන් මම තෝල්කයා විමසීමි.ගොඩ බැස්ස පසු ලංකාවෙන් තවත් මුදල් ගෙන්වා දෙන පොරොන්දුව පිට අපට රට ඇතුළට බසින්නට අවසර ඇතැයි හෙතෙම දැන්වීය.

ඇමරිකාවට කැනඩාවට ගොඩවැදෙනවාට වඩා වැඩි සන්තෝසයකින් අපි මියන්මාරයට ගොඩ බැස්සෙමු.

තමන්ටම ඇසෙන්නට තොල් මතුරමින් යන මිනිසුන්ගෙන් මියන්මාරයේ අඩුවක් නැත. ඒ කියන්නේ ගාථාවන් දැයි මම තෝල්කයා ගෙන් ඇසීමි. නෑ උන් ඒ බනින්නේ ආණ්ඩුවට. එලිපිට විවේචනය කරන්න බැරි නිසා කොයි වෙලේත් තමන් එක්ක කියමින් තමන්ටත් එක්කම බැණ ගන්නවා යයි තෝල්කයා කීවේ ය.

අධිරාජ්‍යවාදී බලපෑම්වලින් නිදහස ලබා දීපු ආණ්ඩුවකට මිනිසුන් මෙසේ පලු යන්න බණින්නේ ඇයි දැයි මට ඉබේම ඇසුණේ ය. හිතාමතා නම් එවැනි ප්‍රශ්නයක් අසන්නට මා හිතන්නේ නැත.

තාමත් අවුසාන් සුකී ඉන්නවා නේ. කොයිවෙලේ හරි ඒකි රට පාවා දෙයි කියල ආණ්ඩුව නොකරන දෙයක් නෑ. ඒ ඔක්කොටම පටි තද කරගෙන බදු ගෙවන්න වෙලා තියෙන්නෙ රටේ මිනිසුන්ට.

හත්දෙයියනේ බටහිර අධිරාජ්‍යවාදීන් කරල තියෙන වින්නැහියක්!

තව බොහෝ දේ කියන්නට තිබේ. ඒත් දිගු ගමනකට පසු කෙඩෙත්තුව දරුණු ය. ආයිත් දවසක මුණ ගැසෙමු.

Posted in: Uncategorized