අපට හමු නොවූ දේශපේ‍්‍රමී බෝට්ටුව

Posted on February 24, 2010



මියන්මාරයට නොව දේශපේ‍්‍රමය කරා යන්නට බොහෝ පිරිසක් බෝට්ටුවට නැග ගත්හ. ටික දුරක් යන විට මංගල හා ශ‍්‍රීපති දෙපළ බෝට්ටුවෙන් පිටතට විසිවුනේ ය. ඒ සමග ම උන් දේශදෙ‍්‍රාහීන් වූහ.

ඒකේ පාඩුව මකන්නට දේශදෙ‍්‍රාහීන් 17 දෙනෛකු සෝදා පිරිසිදු කර දේශපේ‍්‍රමි පැනින් නහවා බෝට්ටුවට ගන්නා ලද්දේ ය.

ඊළගට සිදුවුනේ ජවිපෙ බෝට්ටුවෙන් එලියට තල්ලුවීම ය. එහි පාඩුව කරුණාගෙන් හා පිල්ලෙයාන් නිසා එතරම් දැනුනේ නැත. විමල් හා පිරිස ද ඊට පසු කලෙක එක්වීමෙන් යම් අඩුවක් වුනා නම් එයත් පිරිමැහුනේය.

ඊළගට එළියට විසිවුනේ සරත් ෆොන්සේකා නම් දේශපේ‍්‍රමීයා ය. ඒ සමග ම ඒ  කලවැද්දා දේශදෙ‍්‍රාහීයෙක් විය.

එස් බී දිසානායක නම් උසාවියට අපහාස කොට සිර ගත කොට තිබූ එකාගේ ඉවර වූ දඩුවම පැත්තක තිබියදි සමාවක් දී ඒ වෙනුවට පිරිසිදු කොට ගන්නා ලද්දේ ය.

ඊලගට විසිවුනේ අර්ජුන රණතුංග හා විජේදාස රාජපක්ෂ ය. ඒ වෙනුවට සනත් ජයසූරියත් සුසන්තිකාත් බෝට්ටුවට ගොඩවූහ.

ඊළගට දඹර අමිල හිමියන් ය. අන්තර් සුනාමි සහන මණ්ඩලයට එරෙහිව මාරාන්තික උපවාසයක යෙදීමෙන් දේශපේ‍්‍රමීවී සිටි අමිල හිමියන් හිටිහැටියේ දේශදෙ‍්‍රාහී වූයේ ය.

එහි අඩුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු දේශදෙ‍්‍රාහීන් පිරිසිදු කර නාවා ගැනීමෙන් පිරිමැසුනේ ය.

ඊළගට විසිවුනේ මහ නාහිමියන් දෙපළ ය.

එහි පාඩුව ඒවන විටත් පිරිසිදු කර සුවද පැණින් නහවනු ලැබ සිටි කේපී විසින් පුරවනු ලැබ තිබිණි.

ඊළගට බෝට්ටුවෙන් විසිවෙනු ඇත්තේ කවරෙක් ද?

ඒ වෙනුවට නාවා පිරිසිදු කර ගන්නට ඉන්නේ කවුරුන් ද? රනිල් ඇග හෝදමින් ඉන්නවා යයි කවුදො ඊයේ පෙරෙදා කියනු ඇසිණි.

බෝට්ටුව ගමනාන්තයට ලංවන විට එහි ඉන්නේ කවුරුන් විය හැකි ද? දැන් ඒ තුළ ලැගුම් ගෙන ඉන්නා සියලු දෙනාට ද එයට එක්වීමට හොර ගල් අහුලමින් සිටින සියලු දෙනාට ද අපි සුභ අනාගතයක් පතමු.

එය මියන්මාරයට ලගාවෙද නැතිනම් යුරෝපාකරයට යයිද යනු තීරණය කිරිම අනාගතයට බාර ය.

බෝට්ටු කීපයක් අප පසු කර ගියේ වුවද දේශපේ‍්‍රමී බෝට්ටුව නම් මුලිච්චි වූයේ නැත. එය සමහර විට බටහිර අර්ධ ගෝලය පැත්තට හැරවුනා හෝ ගසා ගෙන ගියා විය යුතු ය.

අනේ අපොයි කොහාට යන්න හිටි එකක් ද හැබෑට?

Posted in: Uncategorized