පාත්තයෙක් ගෙනා සංදේශය

Posted on February 22, 2010



එකමත් එක රටෙක ගම රාළ කෙනෙකු විසුවේ ය. දිනක් රා බීමට සිතැත්තේ මදින ලද හොද කිතුලක් දැක ඊට බඩ ගෑවේ ය. කිතුල් රාවලින් සප්පායම් වී බිමට බහින ගමයා දුටු අයිතිකරු ගස මුලට පැමිණ ගමයාගෙන් ඇසුවේ ගහ උඩ කුමක් කරන්නේ ද යන්න ය. හරිහමන් උත්තරයක් ගැට ගසා ගැනීමට අසමත්වූ ගමයා කීවේ තණ කොළ කපන්නට ආ බව ය. ගහේ තණකොළ කොහේදැයි ඇසූ අයිතිකරුට හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනේ ය. තණකොළ නැති නිසා නොවෙන්නම් මේ බසින්නේ කියා ය.

ඇත්තටම මේ කතාව මතක් වුනේ තලංගම පොලීසියට ඊයේ පෙරේදා සිදුවූ අකරතැබ්බයක් නිසා ය. තලංගම පොලීසියේ නිලධාරී කණ්ඩායමකට ඉක්මන් උසස්වීමකට මගක් කල්පනා වුනේ ය. ඒ තමන්ගේ වසමේ ඇති ජවිපෙ කාර්යාලයට ගොස් පොඩි හිරිහැරයක් කර ඒම මගින් ය. ස්වාමියා සතුටු කරනු සදහා එය මනරම් අවස්ථාවක් විය හැකි නිසා කිතුලට නගින උනන්දුවෙන් උන් ජවිපෙ මූලස්ථානයට ගොඩ වූහ.

පරීක්ෂා කිරීම සදහා උසාවියෙන් ලබා ගත් වරෙන්තුව කොයිබදැයි ඇසූ ප්‍රශ්නයෙන් තක්කු මුක්කු වී පල්ලම් බසින කණ්ඩායම අහල පහල ලිපිනයක තොරතුරු ද අසා ගන්නට අමතක නොකළහ.

වැඩේ පත්තු වූ කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ කට්ටිය කිතුලට ගියේ තණකොළ කපන්නට බව ය. ඔහුට අනුව උන් මූලස්ථානයට කඩා වැදී තිබුනේ අල්ලපු ගෙදරක ඇඩ්‍රස් සොයා ගෙන ය.

ඇඩ්‍රස් නැතිව එන ගමන් උන්ට ගමරාළගේ කිතුල් කතාව මතක්වන්නට ඇත. ඒ අනුව ලෝකයේ විනය ගරුකම පොලීසිය ලිපිනයකට යොමුවක් සොයා ජවිපෙ කාර්යාලයට ගොස් තිබිණි.

මියන්මාරය කරා යන අපට මේ ආරංචිය ගෙනාවේ ලංකාවේ පාත්තයෙකි. හංස දඩයම ගැන ඉවක් දැනී ඌ ලංකාවෙන් හැකි ඉක්මණින් පැන ගෙන ඇති අතර වාසය පිණිස දැන් සුදුසු දේශයක් සොයා සංක්‍රමණය කරමින් සිටී.

අහෝ පාත්තය උඹත් මාත් එකම ඉරණමක ගොදුරක්ව ඇති සැටි!

පාත්ත සංදේශය මෙතැනින් නිම ය.

Posted in: Uncategorized