රෝහණ දිසානායක කැබිනට් නොවන ඇමතිවරයෙකි. ඔහුගේ බිරිද ඉංග්‍රිසි ගුරුවරියකි.
එහෙත් ඇය දුප්පත් ය (රට කෙතරම් ආගාධයට ගොස් ඇති ද යන්න එයින් අදහස් වෙතැයි කිසිවෙකුත් සිතිය යුතු නැත). ඒ නිසා ඇය බත්තරමුල්ලෙන් පර්චස් 15 ක් ඉල්ලා සිටියා ය.
අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ හදවත් ඉක්මණින් උණුවන සුළු ය. ඒ නිසා ම නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂම නිලධාරීන් විසින් රෙකමදාරුවක් ද සහිතව අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය පතා එම ඉල්ලීම ඉක්මණින්ම ඉදිරිපත් කර තිබිණි.
ඉතා ඉක්මණින් ඇගේ ඉල්ලීම ඉටු කරනු පිණිස කැබිනට් පත්‍රිකාවක් ද ඒ සමගම සකස් කර ඉදිරිපත් කරනු ලැබිණි. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නට ඇත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සංවිධායක වූ ද පැරණි වාමාංශිකයෙකු වූ ද අතිශයින්ම දේශප්‍රේමියෙකු වූ ද දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා විසින් විය යුතු ය. ටයිම්ස් පුවත්පතේ පළවු ප්‍රවෘත්තියට අනුව දැනටමත් ඉඩම ලබා දී ඇති නිසා එය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන්නට ඇති අතර එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන්නට ද ඇති බව අනුමාන කරන්නට සිදුවේ.
තමන්ගේ ආමාත්යංශයටම අයිති කැබිනට් නොවන ඇමතිවරයාගේ බිරිද දුප්පත් වීම කැබිනට් ඇමතිවරයාට පවා දරා ගන්නට පුලුවන් නුවූවා වෙන්නට පුලුවන. ඒ නිසා එතුමා අනුමත කළා ද නැත්නම් ඇමතිතුමාටත් නිලධාරීන් හා තම දේශපාලන සගයා විසින් ලණු දුන්නා දැයි හරිහැටි පැහැදිලි නැත. ඊට හේතුව මෙම ඉල්ලුම ඉදිරිපත් කර ඇත්තේ එම ඇමති බිරිදගේ විවාහයට පෙර නමින් එතුමියගේ මෑණියන්ගේ ලිපිනය යොදා සකසන ලද ලිපියක් මගින් නිසා ය.
දුප්පත් කෙනෙකුට කරන ලද මේ අනුග්‍රහය නිසා, පිංකමක් වත් තේරුම් ගන්නට අසමත් මේ පොළොවේ පය ගසා නොසිටින අය විසින්, මෙයට සම්මාදම් වූ බොහෝ අය හෙට වන විට අත්අඩංගුවට ගනිතැයි බියක් අපට තිබේ. මේ නිසාම රෝහණ දිසානායකගේ පමණක් නොව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ ද දේශපාලන අනාගතය අදුරු වනු ඇතැයි ද පුදුම දුකක් අපට ඇතිවේ.
හරි හමන් සාක්කිත් නැතිව දේශප්‍රේමීන් අත්අඩංගුවට ගන්නා කුමන්ත්‍රණයක් බටහිර තානාපති කාර්යාලවල අනුග්‍රහයෙන් සිදුවන මේ කාලයේ මේ දේශප්‍රේමීන් දෙන්නා හරි හමන් චෝදනා ද නැතිව අත්අඩංගුවට ගැනීමේ ඉඩ අපට කිසිසේත් බැහැර කළ නොහැකි ය.
ඇතිව තිබෙන දුක අපට වාවන්නේ නැති වුවද මේ ගැන අපට කළ හැක්කක් නැත. ඒ අප මියන්මාරය බලා යාත්‍රා කරමින් තිබෙන නිසා ය.
රට රකින දෙවිවරුන්ගේ සරණ රෝහණ දිසානායක ඇමතිතුමාටත් එතුමාගේ දුප්පත් බිරියටත් මේ පිංකමට දායක වූ රාජ්‍ය නිලධාරීන්ටත් කැබිනට් පත්‍රය නිර්භිතව ඉදිරිපත් කළ දිනේෂ් නැමැති දේශමාමක ඇමති තුමාටත් මෙයට අනුමැතිය දුන් සංවේදී ඇමති මණ්ඩලයටත් ලැබී අල්ලස් හා දූෂණ කොමිසම මේ සියලු දෙනා මෙයින් නිදහස් කර දෙන්නැයි අපි උදක්ම පතමු.
බෑණන්ට සැළකීමට සහ තම බිරිදට හෝ තම සගයෙකුට සැළකීම අතර ඇත්තේ අහස පොළොව මෙන් විශාල වෙනසක් බව ඇත්තටම රට වැසියන් විසින් අවබෝධ කරගනු ඇතැයි ද නැත්නම් පංචායුද හෝ පාවිච්චි කර ආණ්ඩුව විසින් අවබෝධ කර දෙනු ඇතැයි ද අපි ඒ සමගම බලාපොරොත්තු වෙමු.
රෝහණ දිසානායක ඇමතිතුමාටත් එතුමාගේ බිරිදටත් එතුමාගේ කැබිනට් අමාත්‍යවරයාටත් එතුමන් සතු කාර්යක්ෂම නිලධාරී මඩුල්ලටත් සුභ අනාගතයක්!
දුප්පතුන්ට දැන් ඉතින් ආණ්ඩුවේ ඉඩම්වලම පිහිටයි!
hashan
February 21, 2010
තැටිය රත්වෙච්ච වෙලාවේ එපැයි ආප්පේ උණත් පුච්ච ගන්න. (තැටිය දිනේෂ් ඇමතිතුමා සහ ආප්පය නියෝජ්‍ය ඇමති බිරිය යැයි වරදවා වටහා ගන්න එපා. මන්ද එවිට වැරදි අර්ථකතනයක් ඔබට වැටහෙනු ඇති බැවිනි.)
sihan
February 21, 2010
elaela..niyamai…. pl publish more articles like this.
Defector
February 22, 2010
දේශපේ‍්‍රමය හත වැදී දොයිය ගෙන ද
වෙනදා උඹගෙ අඩවියට ගොඩ වදින උන් නිදි වැදිලා ද
ඉදිරියේ වෙන දේ බොහෝමයකට උත්තර උන්ට නැතිවන ලකුණු තමයි මෙ
Bardo Flanks
February 22, 2010
Is there any proof that any of Mahinda’s relatives have stolen government funds or property? There isn’t.
Dinesh seems to have been misled. Rohana Dissanayake should be sacked.
Nilo
February 23, 2010
පව් අනේ…. අසරණ දුප්පත් ඇමැතිතුමා… 😀
poor citizen
February 23, 2010
http://www.lankaenews.com/Sinhala/news.php?id=12504
ඇමැති හා පවුලේ දූෂණ හෙළිකළ මාධ්‍යවේදියාට තර්ජන
(ලංකා ඊ නිව්ස් ) මාතලේ දිස්ත්‍රික් හිටපු නාගරික සංවර්ධන ඇමැති රෝහණ දිසානායක මහතාගේ, ඔහුගේ බිරිඳගේ හා පවුලේ අයගේ දූෂණ අක්‍රමිකතා ගැන තමා කළ හෙළිදරව්වෙන් හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලෙන් පසු, තමාට හිරිහැර කරදර කිරීමේ උත්සාහයක් ඇති බවට මාධ්‍යවේදී ඩී.බී. ඇල්කඩුව මහතා ජනාධිපති ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් කොට තිබේ.
හිටපු ඇමැති දිසානායක මහතාගේ බිරිඳගේ මල්ලිවන සිරිකුමාර අබේසිංහ නමැත්තා විදේශගත කිරීමේ අරමුණින් තම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස සත්කාර සාවද්‍ය තොරතුරු මත විදේශ ගත කිරීම, අනෙක් මස්සිනාව අමාත්‍යංශයේ රියදුරු තනතුරකට පත් කර නාගරික සංවර්ධන අධිකාරියේ තට්ටු නිවසක් ලබාදීම, තම සහෝදරයකු වන හිමිනමක් සඳහා පූජාභූමි සංවර්ධන අරමුදලින් ලකෂ 20 ක් ලබාදීම, ඇමැති බිරිඳ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කොට රජයේ ඉඩමක් ලබාගැනීම සහ කෝටි 50 කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධව ඇල්කඩුව මහතා ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපියෙන් පෙන්නා දී තිබේ.
බලය අයුතු ලෙස යොදවමින් සාවද්‍ය පැමිණිලි මත අත්අඩංගුවට ගැනීමට හෝ පොලිසිය ලවා හිරිහැර කරදර කිරීමට දරණ උත්සාහය වළක්වන ලෙසත් මේ පිළිබඳව මාතලේ පොලීසිය දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා සිටින ඇල්කඩුව මහතා, තමාට හෝ තම පවුලේ සාමාජිකයකුට, දේපළකට කිසියම් හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳ වගකීම රෝහණ දිසානායක මහතා දැරිය යුතු බවද දන්වා සිටී.