අහෝ රට! උඹ මුලුමනින් කතරක්ව තිබේ. අතරින් පතර තිබූ කෙම්බිම් ද වාෂ්ප වෙමින් ඇත.

Posted on February 17, 2010



මින් මත්තට ජනමාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නේ නම් ඊට පෙර තමන් විමසිය යුතු යැයි පොලිස්පති තුමාට ජනපති තුමා කිවූ බව ඊයේ වාර්ථා විය. එය අසා ජනමාධ්‍යවේදීන් සැනසුම් සුසුම් හෙළන්නට ඇත. දැන් නම් ඉතින් ජනමාධ්‍ය නිදහස රැකෙනු ඇති අතර ඒ අනුභාවයෙන් ජීඇස්පී ද ලැබී ඇගලුම් කර්මාන්තයට ද නව පණක් ලැබෙනු ඇතැයි ව්‍යාපාරිකයින්ද සුසුම් හෙළන්නට ඇත. අපට ද ඩිංගි‍ බෝට්ටුව හරවා ගෙන නැවත එන්නට කාරණාවක් යෙදී ඇත. වහා වහා බෝට්ටුව හරවා ලංකාව දෙසට පැදවීමු.

ගත වූයේ විනාඩි කිහිපයකි. අප මේ අසුව ඇත්තේ උගුලකට බව දැනෙන්නට වුනේ ය.

නුවණ පහල වන විට තරමක් පරක්කු වෙලා ය. ඇත්තටම අප කලබල වුනා වැඩි ය. මේ තීරණයේ මුලින් නුදුටු ගැටලුවක් ඇතැයි දැන් අපට වැටහේ. නැවතත් බෝට්ටුව ආපසු කරකවන ලෙස කියා සිටියෙමි.

ඩිංගි බෝට්ටුව දැන්නම් වඩාත් හයියෙන් මියන්මාරය කරා පදවන්නට වුවමනා ය.

ඒ ඇයි ද කිවහොත් මේ රජ තීරණයෙන් ජනමාධ්‍ය නිදහස ඇතිවීම කෙසේ‍ වෙතත් නීතියේ ආධිපත්‍යයත් අවමානයට ලක්වන නිසා ය. නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර රජතුමාගෙන් පිළිවිසීම කෙසේ නම් සාධාරණය කරමු ද?

මේ තීන්දුවෙන් වක්‍රව කියන්නේ මේ රටේ පොලිසිය නිසි පරිදි ක්‍රියාකර නැති බව ද? ඊට ‍පීළියම තමන්ගෙන් අසා කටයුතු කරන ලෙස පොලීසියට කීම ද? නැත්නම් අත්තනෝමතික ලෙස වැඩ කර ඇති පොලිස් නිලධාරීන් වෙතොත් උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලීම ද? එමගින් නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කරවීම ද?

තමන් යටතේ ඉන්නන් වැරදි කළ විට උන්ට දඩුවම් නොකර උන්ගේ වැඩ ද තමන් වෙත පවරා ගන්නා ක්‍රමයක් කළමනාකරණ සිද්ධාන්ත වල නැත. එහෙම ප්‍රශ්න විසදන්නට ගියොත් රජයේ ආයතනවල වැසිකිලි සේදීම ද රජතුමාට බාර ගැනීමට සිදුවනු ඇත.

මේවා නිකම් විහිලු නම් නොවේ. රජ විහිලු ය. එසේ වුවද සිනහවිය යුත්තේ කටින් ද පුකෙන් ද යන්න අපැහැදිලි ය.

මේ හදන්නේ මාධ්‍ය වේදීන් ගොනාට ඇන්දවීමට ද? නැත්නම් මාධ්‍ය නිදහස අගයන ජනතාව ගොනාට ඇන්දීමට ද?

නීතිය මෙසේ හෑල්ලුවට ලක් නොකරන ලෙස රජුට අවවාද දිය හැකි නීතිවේදින් මේ රටේ නැති ද? කළමනාකරණයේ මූලික සිද්ධාන්තවත් නොදන්නා ලෙස කරන මේ හැසිරීමේ ලාමක කම පෙන්වා දෙන්නට සමත් කළමණාකරණ උපදේශක වරුන් මේ රටේ නැති ද?

අහෝ රට! උඹ කතරක්ව තිබේ. අතරින් පතර තිබූ කෙම්බිම් පවා සීඝ්‍රයෙන් අතුරුදන් වෙමින් තිබේ.

Posted in: Uncategorized