ඉඩි අමින් චිත‍්‍රපටිය ආයි පෙන්නන්න බැරි ද? (ඇයි ආයි? “අපි නොදන්න ඉඩිඅමීන්” දැන් ලයිව් පෙන්වනවා ය!)

Posted on February 16, 2010



අප මීට පෙර වකවානුවක කතා කරමින් සිටියේ යුද්ධ ජයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන එක ගැන ය. ඒක ගැන ජනතාවගේ තීන්දුව ජනවාරි 27 දා ලැබී තිබුනේ ය.

අද අපට කතා කිරිමට සිදුව ඇත්තේ එයින් කවරෙකුට ඉඩි අමින් පට්ටම පිරිනැමිය හැකි ද යන්න ගැන ය. ඒ ගැන ජනතාවගේ තීන්දුව අප්‍රේල් 08 දා ලැබීමට නියමිත ය.

ජනතාව තීන්දුවලට බහින්නේ තමන් අභියස ඇති කරුණු කාරණා සළකා ය. ඒ නිසා ඒ තීරණ හරි දැයි තීරණය කරනු ඇත්තේ ඉතිහාසය පමණකි.

ඒ නිසාම අප ඒ ගැන කිසිවක් කියන්නේ නැත. එහෙත් මේ ප්‍රශ්න දෙක නිසා මතුවන අමතර කාරණයක් තිබේ. අප මේ මතු කරන්නට හදන්නේ ඒ කාරණයයි.

ප‍්‍රශ්න දෙකටම ප‍්‍රස්තූතව සිටින්නේ එකම ජෝඩුවකි. එක බත් පතේ කෑ එකට ගමන් කළ ජෝඩුවකි. එය එක් අතකින් දෛවයේ සරදමකි. එහෙත් හැම එකක්ම දෛවයේ සරදමක් කියා අහක දැමිය නොහැකි ය. දෛවය දිගින් දිගට සරදම් කරන්නේත් එසේ ප්‍රශ්න සැහැල්ලුවෙන් සළකා ඉවත දමන එවැනි මිනිසුන්ට නිසා ය.

එක ජාතියකගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතින්පාගා දැමු පාලකයින් සෙසු ජාතින්ට එය ලබා දෙයි ද යන ප්‍රශ්නය මේ සරදම හරහා මතුවෙන දැවැන්ත යථාර්තයයි.

බලය සුජාතකරණය කර ඇති රටක බලය නැත්තන්ට අත්විදීමට සිදුව ඇති ශෝචනීය කෙබදුද යන්න අපට පහදා දෙන්නේ එක් කලෙක අසීමිත බලයක් සහිත වූ සෙනෙවියෙකි. ඉර පැන්නාවූ එතුමාට අත් වූ ඉරණම එය නම් ඉරෙන් මෙහා ඉන්නා සෙසු අවසේස මිනිසුන්ට අත් නොවිය හැක්කේ කුමක් ද?

ජනපතිවරණය ප්‍රථිපලය භාවිතා කර රැකියා වලින් බලාහාත්කාරයෙන් දොට්ට දැමූ අයට මෙ තත්වය යටතේ පැතිය හැකි පිළිසරණය කුමක් ද? ගෙවල් ගිනි තැබූ ජිවිත අහිමිකරනු ලැබූ මිනිසුන්ට බලාපොරොත්තුවිය හැකි පිළිසරණය කුමක් ද? අතුරුදන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට හා දරුවන්ට පැතිය හැකි සරණ කුමක් ද? සිර කළ සිරිමල්වත්තගේ පවුලට ඇති කළ හැකි සහනය කුමක් ද? ෆේස් බුක් එකේ තම අදහස් පළ කළ වරදට තමන් හඹා එන අයගෙන් එසේ කළ වුන්ට පැතිය හැක්කේ කාගේ පිළිසරණ ද?

ජනපතිවරණයට ප්‍රථමයෙන් ඇති කළ යුද්ධය විසින් අවතැන් කර දමනු ලැබු තම ගම් බිම් සමතලා කර පුළුස්සා දමනු ලැබු දෙමළ ජනතාවට යුක්තියක් ඉටු කර දීමට අපොහොසත් වූ අයට සෙසු ජනතාවට යුක්තිය පසිදාලිය හැකි ද?

නැගී සිටි දෙමළ ජනතාවට අත් කළ ඉරණම නැගී සිටින සිංහල ජනතාවට ද අත් කරන්නට දැන් කැසකවන ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටින්නේ කුමක්ද? තමන්ට එරෙහිව එන විරුද්ධත්වය එන්නේ මොන දෙසින් ද යන්න අදාළ නොවන බව ය. එය මැඩලීමට එල්ල කරන අවි ආයුධ ශිෂ්ඨ ද අශීෂ්ඨ ද යන්න අදාළ නොවන බව ය.

සිදුවෙමින් තිබෙන මේ සියල්ල උපේක්ෂාවෙන් විද දරාගන්නා ලෙස ජනතාවට
බල කර සිටින්නේ අතිවිශාල බහුතරයකින් ජනපතිවරණය ජයගත් රජතුමා, එතුමාගේ පොලීසිය හා පොලීසියේ අනුබලය හා රැකවරණය ලබන මැරයන් ය.

උන් කියන්නේ එසේ කරන්නට බැරි අයට විසදුමක් ඇති බව ය. මේ කුණු ඔජර ගලන පාලනයට සෙත් පතා සිය ආත්මය පාවා දී උන්ගේ ගොඩට එකතු වන ලෙස ය.

ඉඩි අමින් චිත්‍රපටිය රූපවාහිනියෙන් පෙන්නූ කාලය ඉවරය. දැන් එය පෙන්වන්නේ ලයිව් ය.

(අප නුදුටුවාට, අපට බලන්නට උනන්දුවක් නොතිබුනාට, අප නොදැක්කා සේ හිටියාට, උතුර සම්බන්ධයෙන් එය පෙන්වන්නට පටන්ගෙන බොහෝ කල් ය.)

අප මේ මියන්මාරය බලා ‍දුවන්නේ එහි රගපෑමට බලකිරීමක් අපටත් වෙතැයි යන බියෙන් ය. ඒ දකුණේ රූගත කිරිම් දැන් එලිපිටම කෙරෙමින් තිබෙන නිසා ය.

ඩිංගි බෝට්ටුවේ ගමන හෙමින් ය. මියන්මාරය තවත් ඈත ද?

Posted in: Uncategorized