සදාචාරය ඇත්තේ මොන රටේ ද? ඒක නිකම් කන්න පුලුවන් එකක් ද? නැත්නම් සාහිත්‍ය වගේ බඩකඩුත්තුවක් ද?

Posted on February 14, 2010



ජනපතිවරණය තැටිය රත්ව තිබෙද්දී රොටිය පුච්චා ගැනීමේ වෑයමක් බව කීවේ තමාගේ හිත කියවන අවංක මහින්ද (අලුත්ගම‍ගේ) ය. එහෙත් ජනතාව රැවටීමේ වසර 40 ක පළපුරුද්දක් ඇති ජන නායක මහින්ද (රාජපක්ෂ) කීවේ යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරමක් ගැනීමට අවශ්‍ය නිසා එය තබන බවකි.

උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජන වරමක් ගැනීමට තැබිය යුත්තේ උතුරු නැගෙනහිර පළාත්සභා දෙක නොවේදැයි අහන්නට කොන්දක් හෝ මොළයක් ඇති මාධ්‍යවේදීන් හිටියත් එවැන්නෙකුට ජනනායකයා මුලිච්චි නොවී තිබූ පසුබිමක ජනපතිවරණය පැවැත්වුනේ ය.

අදෝමැයි!

සංවේදී ජනනායකයාට කළගුණ නොදත් උතුරේ ජනතාවගෙන් ලැබුණේ ජනවරමක් නොවේ. කම්මුල් පහරකි.

ඉල්ලු ජනවරම වෙනුවට එවැනි කම්මුල් පාරක් ලැබී තිබියදීත් අවුරුද්දක් තවත් කල්ගෙන දෙවැනි වාරයට දිවුරුම් දිමේ නීත්‍යානුකූල වරම (එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්ව තිබීමත් ජනතාවගෙන්සෑහෙන කොටසක් එය පිළිගන්නට අකමැත්තෙන් සිටීමත් වෙනම කා‍රණා ය) ජනපතිවරයා ලබා ගෙන ඇත.

තමන් ඉල්ලූ ජනවරම දීම උ‍තුරේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති තත්වයක් යටතේ දෙවැනි නිලකාලයක් ඉසිලීමට එතුමාට සදාචාර අයිතියක් ඇත් දැයි අපි අසමු.

සදාචාරය තියෙන්නේ මොන රටේ දැයි අසමින් අවි අමොරා ගෙන අප බ්ලොග් අඩවියට එන්නට නියමිත ප්‍රතිචාර පිළිබද අවබෝධයෙන් යුතුව, මේ බුදුන්ගේ දේශය බව මෙනෙහි කරමින්, හෙට එලිවෙන දිනයක ගොඩබසින මියන්මාරයේවත් සදාචාරය යයි ඔය කියන කෙහෙල්මල ඇත්දැයි විචිකිච්ඡාව ද ඇතිව ඩිංගි බෝට්ටුව තවත් තදින් අල්ලා ගතිමි.

මේ හරියේ මුහුද රළු ය.

Advertisements
Posted in: Uncategorized