රට හැර යන ගමන් ඩිංගි බෝට්ටුවේ සිට ලියමි…

Posted on February 11, 2010



ඩිංගි බෝට්ටුවේ වදින රළ පහර කැඩී බිදී විසිර යයි. ඒ නැවත සකස් වනු පිණිස ය. හරියට රට හැර යන මගේ සිතිවිලි පරම්පරාව වැනි ය.

දුකක් ඇතත් මා නිදහස්ය යන හැගීමක් ද ඒ අතර සිතට පිවිසෙයි. වට කොට ඇති තෙරක් නොපෙනෙනා මහ මුහුද ද උස්වූ අවකාශය ද මෙතෙක් හිරවී සිටි මට ඇති කළේ නිදහසේ අපේක්ෂාවන් ය. මුල් වලින් උදුරා දමනු ලැබුවෙකුගේ නිදහස කොතරම් උද්යෝග කර වෙනු ඇත් දැයි මා දන්නේ නැත.

රට බදාගෙන එය ගිල ගන්නට සටනක් යෙදෙන පාලකයින්ට වඩා රට අත්හැර යන මගේ හිතට නිදහසක් දැනීම එක අතකින් අරුමයක් නොවේ.

ප්‍රභාකරන් මරා දැමීමෙන් සිස් වූ ස්ථානය ගන්නට උන් විසින් එකෙක් සොයා ගෙන තිබේ. ඒ ප්‍රභාකරන්ගේ විනාශය ගෙනා සරත් ෆොන්සේකා වීම ඉතිහාසය උන්ට කළ සරදමෙකි.

සරත් ෆොන්සේකාට අතින් පයින් පමණක් නොව කටින් හා නහයෙන් ද බැට දී ඒ සියල්ල කොහොල්ලෑ බබාගේ කතාවේ මෙන් අලවා ගෙන ඇති පාලකයෝ මේ සටන බලා සිටින හුදී ජනයාට ත්‍රාසයත් ආශික් එකත් දෙකම ලබා දී තිබේ. ඇත්තටම බහුතරයක් උන් ඉල්ලන්නේ එවැනි ආතල් ය. එහෙත් ඒ නිසාම ආණ්ඩුව සෑම අතින්ම ඇලවී ද අලවී ද ඇත.

පැත්තකට වී මුණිවත පිරූ මල්වතු නාහිමියන්ට පවා තවදුරටත් මේ විගඩම් බලාගෙන මේ උන්දෑලාට පිරිත් නූල් ගැට ගහමින් ඉන්න බැරි ගානට තත්වය අල වෙලා ය.

සතුරා පෙන්නන අතරේ සාක්කුවට බැසීමේ ඉඩ ද සියල්ල සුද්ද කිරීමේ ඉඩ ද දැන් පාලකයින්ට තිබේ. එහෙත් ඒ අතරේ උන් සීඝ්‍රයෙන් තමන්ගේ යම් යහ රුවක සේයාවක් හෝ තිබුනේ නම් එය ද තවත් ඉතිරි නොවන ලෙස දිය කර දමමින් තිබේ.

ලෝකයාගෙන් ලැබෙන අවමන් අප්‍රමාණ නිසාම ලුලුම්බා මිත්‍රත්ව සරසවියෙන් පිරිනමන සුලු තෑග්ගක් කටඅවුට් ගසා රට පුරා කෑගසා කියා සිටින්නට නිමිත්තක්ව තිබේ.

හෙට අනිද්දා එලිබහින මනාප සටන නිසා මඩ ෆැක්ටරි දැනටමත් ඇරෙමින් තිබේ. විනෝද සමය ඉස්සර මෙන් පැය භාගයකට සීමා නොවේ. මුලු රටම විනෝද සමයකි.

අප ඇත්තටම අතහැර යන්නේ එවැනි ආතල් එකකි.

ෆ්‍රයිඩ් රයිස් රසවුනාට ඒවා පිළුණු වී ඇත්නම් මොනවා කරන්න ද? සාගින්නෙන් පෙළුන ද ඒ දුගදින් ඉවත්වන්නට ඉඩ ලැබීමම ලොකු දෙයකි.

එකම පරහකට ඇත්තේ පළා යාම නිසා උපන් වරදකාරී හැගීම පමණකි.

Posted in: Uncategorized