ඉදින් ආයුබෝවන් ලක්මවුනි ගරු! – Beyond Frame නැව් නැගීමට පෙර

Posted on February 9, 2010



සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබේ. නිකම් ම නොවේ. බලාහාත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යමිනි. යුද විරුවෙකුට නොව ප්‍රතිපක්ෂයේ යුද සිරකරුවෙකුටවත් නොකරන ආකාරයේ සංග්‍රහයකින් රාජපක්ෂ පවුලේම දේශපාලනය අනාගතය සාදා දුන් සරත් ෆොන්සේකා නම් සෙනෙවියා මෙසේ සැළකුම් ලැබුයේ ඇයි?

මේ සිද්දිය ගැන ඇසූ අපේ ගමේ උපාසක අම්මා කෙනෙක් කීවේ වනේ වන හතුරෙකුටවත් මෙසේ නොවිය යුතු ය කියා ය.

සරත් ෆොන්සේකා වනාහි හතුරෙකුටත් වැඩි එකෙකි. අනභිබවනීය යයි උදම් අනමින් සිටි රාජ්‍යයට අභියෝගයක් කිරීම දරාගත හැක්කේ කාට ද? වාර්ථා බිද හෙළමින් දිනන්නට සිටි ජනපතිවරණයක් මරබිය ඇතිකරමින් සියලු තුච්ඡ ක්‍රියාවල් කරමින් දිනන්නට සිදුවුයේ උන්දෑගේ වරදිනි. ඒ නිසාම ඒ ජයග්‍රහණයට හේතූ පාදක වූ යුද ජය ගෙන ඒම නොවැදගත් කටයුත්තක් තරමට පහළට වැටිනි.

ජයගත නොහැකි යයි බොහෝ දෙනා සිතූ යුද්ධයක් ජයගත් ඒ නිසාම ‍ලෝකයේ ඇති හොදම හමුදාව යයි රජතුමාගෙන් පමණක් නොව උන්දෑගේ මයිලණුවන්ගෙන් ද සහතික ලත් හමුදාවේ නායකයාව සිටි පුද්ගලයාට අත්වූ ශෝක ජනක ඉරණම අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කරයි.

මේ ඉරණම ඔහුට ලබාදෙන්නට තිබූ පෙර සූදානම දෙස සුපරීක්ෂාකාරීව බලන විට අපට පෙනී යන කරුණු කිහිපයක් වෙයි.

සරත් දෙස් විදෙස් කුමන්ත්‍රණයකට හසුව ඇතැයි යන්න ඉන් පළමුවැන්න ය. ඒ දේශද්‍රෝහී පාපතරයන් විසින් සරත් බිලි බාගෙන ඇතැයි යන්න දෙවැන්න ය. ඒ නිසාම සරත් කුජීත කළ යුතු යැයි යන්න තෙවැන්න ය.

වන්නා ටය.

සරත් කුජීත කරන අතරේ ආණ්ඩුව ඒ දෙස් කෙසේ වෙතත් විදෙස් බලවේග සමග නම් දීගය අහෝසි කොට නැත. ඔය කියන එකද තනාපති කාර්යාලයකටවත් අකුලාගෙන යන්නට යැයි කියා නැත.

සරත් අත්අඩංගුවට ගත් ඊයේත් මහින්ද සමරසිංහ ඒ විදෙස් හැතිකරය හමුවන්නට නියමිතව තිබුනේ ය. ඒ නිසා මේ විදෙස් කුමන්ත්‍රණ කතාව කෙසේ වෙතත් දෙස් කතාව නම් හරි බව අප ඉන් තේරුම් ගත යුතු ය.

තව බොහෝ දේ කියන්නට හිතුණත් මෙවැනි රටක වෙසෙනා බහුතරයක් හාල්පාරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමේ තේරුමක් නැතැයි සිතේ. මේ ටික ලිව්වේ ද අප වෙත නිතර ආගිය අයට කළ උපහාරයක් ලෙස ය.

බෝට්ටුවක නැගී රට යාමට පෙර ලියන මෙම සටහන කඩිමුඩියේ ලියන ලද නිසා වැරදි බොහෝ තිබිය හැකි ය. සමුගන්නා මේ මොහොතේ සංවේදී මිනිසුන්ට ‍දිය හැකි අවසාන අදහස නම් එක්කෝ උඹලා ද බත් බැලයන් මෙන් අසංවේදී විය යුතු බව ය. නැත්නම් මා මෙන් මේ රටින් පැන යායුතු බව ය.

ආණ්ඩුවට කඹුරන අයට ද උපදෙසක් දිය යුතු ය. සරත් ෆොන්සේකා වැනි කෙනෙකුත් දෙස් විදෙස් කුමන්ත්‍රණයකට අහුවුනා නම් සොක්කන් වන උඹලා අහු නොවී ඉන්න එකක් නැත. ඒ නිසා උඹලාගේ කේන්දර බලා ගැනීම හොද ය. දැන් එළඹෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ බල පුලුවන් කාර සොක්කන් ඉදිරියේ ද පාච්චල් විය යුතු කාලයයි.

ඉඩ ලැබුනොත් හා මෙසේ විද දරා ගත නොහැකි යමක් වුවහොත් මියන්මාරයේ සිට ඔබ හමුවන්නට ඒමේ අදහසක් තවමත්තිබේ. ඒ බෝට්ටු ගමන අවසානයේ දිවි ගැලවුනොත් ය. දිවි නැතිවීම මෙසේ දිවි ගෙවනවාට වඩා හැම අතින් ම හොද ය.

ඉදින් ආයුබෝවන් ලක්මවුනි ගරු!

Advertisements
Posted in: Uncategorized