හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

Posted on January 22, 2010



ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.

අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.

සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?

සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.

අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව BF මෙසේ හැසිරෙන්නේ ඇයි?

රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.

උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.

රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.

ඇත්තටම රටට මොකද‍ වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ‍ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්‍රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.

රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.

උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්‍යක්ෂ පදවිවලිනි.

කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.

ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.

එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.

ඒ නිසා මට යුතුකමක් ඇත.

රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම ප්‍රහසනය මේ යයි දැක්වීමට ය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.

ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.

Posted in: Uncategorized