පිටපත තාම ලියල ඉවර නෑ! බෑණාට තව දවසක එන්න කියයි

Posted on January 21, 2010



සරත් ෆොන්සේකාගේ බෑණාට රහස් පොලීසියට එන්නට වරෙන්තුවක් ලැබුනේ ය.

රහස් පොලීසියට වෙනත් වැදගත් රාජකාරි ඇති නිසා යෝජනා කළ වෙලාවට නොපැමිණෙන්නයි පසුව දැනුම් දීමක් ද කෙරුණේ ය.

ඇත්තටම නාට්‍ය පිටපත තවම ලියාගෙන යන නිසා නාට්‍ය පටන් ගන්නට බැරි ය. පිටපත කියවූ සමහරු එයත් අතේ පත්තුවිය හැකි යයි කියා පිටපත තරමක් වෙනස් කරන්නට කල් ඉල්ලා තිබෙ. පැමිණිම සඳහා කල් ලැබුනේ ඒ විදිහට ය.

නැවත උත්තර දිය නොහැකි වන ලෙස මැතිවරණයට ඔන්න මෙන්න කියා නාඩගම රගදැක්වීමට ද සමහරු අදහස් කර සිටිති. කල් යෑමට තව හේතුවක් විය හැක්කේ ඒක ය.

එතෙකුදු වෙදිකාව උණුසුම් ය. වඳුරු ඇඳුමෙන් සැරසුණු නළුවෝ පේ‍්‍රක්ෂකයින් කුල්මත් කරමින් තමන්ගේ කරණම් පෙන්වති.

බෑණාට තිබුනේ දුෂ්ඨයාගේ චරිතය රගපාන්නට  ය. දැන් ඒ කෑල්ල ටිකක් පහුවෙන ලකුණු පෙනෙන්න තිබෙතත් නාට්‍ය දැනටමත් ඇරඹී තිබෙ.

ඒ අතරවාරයේ සමහරු කළබලේට ඇඳගෙන පැමිණ ඇති නිසා කරණම් ගහන්නට ගොස් සිය ඇඳුම් ගලවා ගෙන පේ‍්‍රක්ෂකයින්ට සිය හෙලුව ද පෙන්වති.

සමහරු පේ‍්‍රක්ෂකයින් රඳවා ගැනීමෙ වුවමනාවෙන්ම ඇඳිවත උනා දක්වති.

සැණකෙළි සමය මෙසේ ගෙවෙන්නේ ය.

ගිණිකෙළි ද ආරම්භ වී ඇත. ඉස්සරහට ගිනිකෙළි වඩාත් වැඩිවන ලකුණු ද පහළ වී ඇත. සමහර ගිනිකෙළි අතේ පත්තු වීමට ද පටන් ගෙන ඇත.

අවසානයේ ඉතිරිවන්නේ කෝලම් නැටීම ය. එය සබයට පැමිණෙන්නේ ද නැත් ද යන්න තීරණය වන්නේ 26 දා ය.

26 දා රජතුමා බැරිවෙලාවත් නැවත රජ වුවහොත් ඔබට මෙ සංවෙදී කලාකරුවන් සහභාගීවන කෝලම් මඩුවක්ම ලැබීමට නියමිත ය.

බඩ නොපිරුනත් මොකෑ හිත පිරෙනවා නම්! කෝලම් බලාවත් සතුටු වෙතෑකි නොවැ!

මෙ සකල සිරින් පිරි සිරි ලංකාව ය! (වනසා ඉවර වෙනතෙක් අධිරාජ්‍යවාදීනට නම් නින්ද නොයන රට ය. කුමන්ත‍්‍රණ දිනකට දෙතුන් සියයක් ක‍්‍රියාත්මක වන රට ය. ඒ සියල්ල මැද මිනිසුන් වඩාත් සතුටින් සිටින රට ය!)

Advertisements
Posted in: Uncategorized