කළගුණ සැළකීම ද අනාගත අභිවෘද්ධිය ද

Posted on January 21, 2010



26 දා තෝරාගැනීමට ඉදිරිපත්ව ඇති සටන් පාඨ දෙක මෙසේ සංක්ෂිප්ත කොට දැක්විය හැකි ය.

  1. යුද්දයක් ඉවර කළෙමු. ඊට කළ ගුණ සළකන්නට ඔනෑ ය.
  2. සාමයක් දිනාගන්නට තිබෙ. අනාගත අභිවෘද්ධිය සඳහා විවෘත මනසකින් වැඩ කිරීමට වුවමනා ය.

පැරණි ලබා දුන් දේට කළ ගුණ සළකන්නට ගියොත් සිදුවන්නේ දිනා ගන්නට වුවමනා දේ නොලැබී යාම ය. යුද්දය ජයගත්තා යයි කියන අය විවෘත මනසකින් වැඩ නොකරන බැවිනි.

කළ ගුණ සැළකීමට චන්දයක් දිය යුතු නැතැයි මම කියමි. ඒ සඳහා විශ‍්‍රාම යන නායකයා බලන්නට කිරි හට්ටියක් ගෙන යෑම හෝ වෙනත් එවැනි අනුග‍්‍රහයක් දැක්වීම ප‍්‍රමාණවත් ය.

බලයට පත් කිරීම සඳහා නම් එය ප‍්‍රමාණවත් හේතුවක් නොවෙ (යුද්ධය දිනන්නට දායක වුනාය කියන තනි කාරණය මත සරත් ෆොන්සේකාට වුව බලය දිය යුතු නැත).

බලයට පත් කළ යුත්තේ වෙනසක් කළ හැකි අය ය. සාමය දිනා ගත හැකි අය ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් යහපාලනය සහිත පරිසරයක් රටෙ ආර්ථික අභිවෘද්ධියට මෙන්ම ජාතීන් අතර සහයෝගය ඇති කොට සාමය ගෙන ඒමට ද එකසේ අවශ්‍ය ය.

ජීඇස්පී ප්ලස් රැකගෙන ලෝක ආර්ථිකය සමග ගනුදෙනුවකට යාම සඳහා පමණක් නොව විදේශ ආයෝජන ඇද ගැනීමට ද අපගේ බුද්ධිමත් විදෙස් ගත වූවන් නැවත ගෙන්වා ගැනීමට ද යහපාලනයක් අවශ්‍ය ය.

තමන්ගේ ගොඩටම සළකන විරුද්ධ වන කිසිවෙකුට නාට්‍යයක රගපාන්න වත් ඉඩක් නැති පරිසරයක ආයෝජන ඇතිවන්නේ වත් මිනිසුන් ආකර්ෂණය වන්නේ වත් නැත. මැතිවරණ කොමසාරිස් පවා මෙ තත්වයන් යටතේ රාජකාරි කළ නොහැකි යයි හකුලා ගන්නට හදන රටකට විදේශ ආයෝජකයින් නොව මොළේ කළඳක් ඇති මිනිසුන් නම් එන්නේ නැත.

යුද්ධය ජය ගත්තේ කවුද යන්න වෙනම විමසිය යුතු ප‍්‍රශ්නයක් වුව ද දැනට ජනපතිවරණ තීන්දුව සඳහා එය අදාළ නොවන බව අපේ හැගීම ය. යුද්ධය ජය ගැනීමෙ එකවුන්ට් එකට දමා සියලු ජඩ කම් කිරීමෙ ඉඩකඩ ද අප විසින් අහුරා දැමීමට කාලය පැමිණ ඇතැයි අපි සිතමු.

අතීතය වැදගත් වන්නේ එයින් අනාගතයට සපයන එලිය අනුව ය. එය අනාගතය මත පටවන්නේ අඳුරු සෙවනැල්ලක් නම් ඒ අතීතය පරිස්සමින් පරිහරණය කළ යුතු ය.

තීරණය කරන්නේ හදවත නම් අපට ඉතිරිවන්නේ අතීතය පමණකි. තීරණය ගන්නේ බුද්ධියෙන් නම් අපට අනාගතයක් ගොඩ නැගීමට හැකි ය.

26 දා තීරණය ඒ අනුව වැදගත් ය.

හදවත ඉස්සරහට ආවොත් අප අතීතයේ ය. බුද්ධිය ඉස්සරහට ආවොත් අප අනාගතයේ ය.

තීරණය ඔබ සතු ය.

Posted in: Uncategorized