මට වැරදුනාවත් ද?

Posted on January 19, 2010



කුරුණෑගල බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද උදයේ බ්ලොග් සටහනක් ම ලීවේ සරත්ෆොන්සේකාගේ කදවුර විසින් කළ ද ප්‍රචණ්ඩත්වය අප හෙළා දකින නිසා ය. එය මහින්දගේ සගයින් විසින් කළාට ද වඩා අපුලක් අප තුළ දනවන නිසා ය. එයින් අප වඩාත් කම්පනය වූ නිසා ය.

අපට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියකි. අප ෆොන්සේකා මහතාගේ ආගමනය අපේක්ෂා කරන්නේ ඒ වෙනුවෙනි. එය බිහිකරන්නට යන්නේ ප්‍රචණ්ඩත්වය හරහා නම් එතැන නව බවක් නැත. අප සංවේගයෙන් යුතුව බ්ලොග් සටහනක් ලීවේ ඒ නිසා ය.

එහෙත් සැබෑව ඊට වෙනස් වන්නට ඉඩ ඇතැයි පහත ප්‍රවෘත්තිය බලන විට පෙනේ.බෝම්බ ප්‍රහාරයක් යයි අප හදුන්වා දී ඇත්තේ බෝම්බ පිපිරීමකට ය. එය එලියේ වැඩක් නොව ඇතුලේ වැඩකි.

ප්‍රවෘත්තිය පළව තිබුනේ ඊනිව්ස්වල බව ඇත්ත ය. එහෙත් එයින් ප්‍රවෘත්තියට තවත් පැත්තක් තිබිය හැකි බවක් ද අගවා සිටියි. පොලීසිය ආණ්ඩුවේ නිසා වැරදි කරුවන් ඉන්නවා නම් ඉතිරි කරන එකක් නැත.

අපි දැනට දෑස් ඇරගෙන කන් යොමා ගෙන විවෘත සිතින් මේ දෙස බලා හිදිමු. ප්‍රවෘත්තිය මෙසේ ය.

ඇමැති ජයරත්නගේ කාමරයක තිබූ බෝම්බයක් පිපිරී අයෙක් මරුට
(ලංකා ඊ නිව්ස් -2010.ජන.19, ප.ව.6.30) සෞඛ්‍ය සංවර්ධන හා රෝග නිවාරණ ඇමැති ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල වැහැර වඳුරාගල පිහිටි නිවස ඉදිරිපිට පවත්වාගෙන යන ඔහුගේ දේශපාලන කාර්යාලයේ කාමරයක තිබූ බෝම්බයක් හදිසියේ පුපුරා යාමෙන් ඩී.එම්. සුරංග ඉන්ද්‍රජිත් නමැත්තකු මියගොස් තිබේ.

ඊයේ (18) සවස 6.15 ට පමණ මෙම බෝම්බය පුපුරා යාමෙන් මියගිය පුද්ගලයා බදුල්ලේ පදිංචි කරුවකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන්නකු බව වාර්තා වේ.

කිසිවකු විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට කුරුණෑගල පොලිසියට පැමිණිලි කොට ඇතත්, හේරත් මහතාගේ නිවස අඩි 15 කටත් වඩා උසැති තාප්පයකින් වටවී තිඛෙන නිසා මෙවැනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම අසිරූ බවත්, එසේ බෝම්බයක් එල්ල කළත් ඔහුගේ කාර්යාල කාමරය තුළට එවැනි ප්‍රහාරයක් කිසිසේත් එල්ල කිරීමට නොහැකි බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙම පුපුරා ගිය බෝම්බ කිසියම් ප්‍රචණ්ඩකාරීත්වයකට යොදාගන්න ගෙන ආවක් දැයි සැක කරන අතර එය වසා ගැනීම සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට පොලිසියට නිර්මාණය කළ පැමිණිල්ලක් කර ඇතැයි කියති.

සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න මහතා පැවැසුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට පොලිසියට කළ පැමිණිල්ල අනුව පරීක‍ෂණ කටයුතු සිදුවන බවත් රස පරීක‍ෂකගේ වාර්තාව හා විමර්ශන කටයුතු අවසන් වනතුරු බෝමබය කාමරය තුළ තිබී පුපුරා ගිය බවට ප්‍රකාශයක් කළ නොහැකි බවත් කීය.

http://www.lankaenews.com/Sinhala/news.php?id=12055

Advertisements
Posted in: Uncategorized