පොලීසියේ අලුත් භූමිකාව

Posted on January 17, 2010



දැන් පොලීසිය ඉස්සර වගේ නොවේ ය. වැඩිය හබයට යන්නේ නැත.

මැරයන් ගහන්නට ආවොත් පොලීසිය කරන්නේ ගුටිකන්න සිදුවන අයට අවවාද දී ඔවුන් පිටමං කිරීම ය. එයින් උන්ගේ ජීවිතය බේරෙයි. ඉන්පසු මැරයෝ හිමියන් නැති නිවෙස්වලට ගිනි තබති. පොලීසිය කරන්නේ කම්මුලේ අත ගහගෙන පිච්චෙන ගේ දිහා බලා ඉදීම ය.

ඇත්තටම ගේ පිච්චුනා වුනත් පොලීසියේ මැදිහත්වීමෙන් ජීවිත ගැලවුනා යයි පොලිස්පති තුමාට සන්තෝස විය හැකිය. බණ අහන වෙලාවක ඒ පිනුත් එක්ක සමාදම් වුනා නම් ඊලග ආත්මයට ප්‍රයෝජනවත් ය.

ඇත්තටම මේ කිසිවක් සිදුවන්නේ පොලිස්පති තුමා ගේ වැරැද්දකින් නොවේ.

පොලිස්පති කියන දෙයක් දැන් පොලීසිය ගනන් ගන්නේ නැත. උන්නැහේලා අවවාද අනුශාසනා නියෝග ලබන්නේ ප්‍රදේශයේ දේශපාලන බලවතා ගෙනි.

ජනාධිපති තුමා කියන එක පොලිස්පති තුමා ගාණනකට ගන්නේ නැතැයි අප සිතා සිටියත් එසේ නැත. ජනාධිපති තුමා කටවුට් ගලවන්න කී දවසේ සිට හැම තැනම රැස්වීම තබමින් ගලවන්න උපදෙස් දීමට එතුමා කටයුතු කළේ ය. මෙසේ කටින් දුන් උපදෙස් පිළිගත්තේ නැති නිසා තමන්ට ලිඛිතව උපදෙස් නිකුත් කිරීමට පවා සිදුවූ බව එතුමා පසුව දුකෙන් කීවේ ය. අපි හිතුවාට ජනාධිපති තුමාගේ වචනයත් මේ බලපුලුවන් කාරයා මායිම් කරන්නේ නැත කියා ඇත්තටම උන්දෑට වී ඇති සංගෙදිය සිත් කම්පා කරවන සුලු ය. යට ඉන්නා එකෙක් වත් උන්දෑට හීලෑ නැත.

මේ පාලන සමයේ ඉහළ රාජ්‍ය සේවකයින්ට අත්ව ඇති ඉරණම බලන විට මේ තනතුරු උන් ලදුයේ උන් පෙර කළ අකුසල‍යකටැයි සිතෙන තරම් ය. එය පොලිස්පතිගෙන් මැතිවරණ කොමසාරිස්ගෙන් අප‍ට වඩාත් හොදින් පෙනේ. එයින් අදහස් කරන්නේ අනිත් උන් ජොලියේ ඉන්නා බව නොවේ. උන් විදින දුක අප නොදන්නා බව ය.

පොලීසියට ධර්ම චක්‍රය දෙන්නට තිබුනේ දැන් ය. මට අරමුදල් තිබේ නම් උන්ට නව ගුණවැල් ද අරන් දෙමි. ඒ මැරයන් පැමිණි වෙලාවක හිත එකලස් කරගෙන බණක් භාවනාවක් කරන්න ය.

ධර්ම රාජ්‍ය පහළ වෙන්න දැන් ඔන්න මෙන්න ය. පොලීසියේ මහත්තුරුන්ට වී ඇති පෙරළියෙන් එය වඩාත් සනාථ වෙයි!

Posted in: Uncategorized