සුභ අනාගතයක් ගැන කතා කරන්නවත් ඉස්පාසුවක් හෙට අනිද්දාවත් අපට ලැබෙයි ද?

Posted on January 10, 2010



කෙත් යායවල් වසා ගෙන, ලයිට් කණු බදු ගෙන, තාප්පවල පිරී ඉතිරී යන ලෙස ගසා ඇති මහින්දගේ රුව අප අභියස සිටින්නේ ය. එය අප දෙස පරීක්ෂාවෙන් බලා සිටින්නේ අප දේශප්‍රේමී ද? නැත් ද? යනු දැන ගනු රිසියෙන් බව සිතෙයි.

ඉතිරි සියලු වෙනස්කම් අකා මකා දමා ඇති නිසා මේ ඉරෙන් මොන පැත්තේ අප සිටින්නේ ද යන්න අනුව අපගේ සින්දු ප්‍රචාරය වීම ද අපට රගපාන්න අවස්ථාව ලැබීම ද යන සියල්ල තීරණය වෙයි. ඉර පැන්නොත් හිර ගෙවල් ද දූෂණ චෝදනා ද පරීක්ෂන ද ඉවරයක් නැත.

දන්සැල්වලට ආරාධනා එන්නේ එකක් දෙකක් නොව තුන හතරක් ය. ආදී ශිෂ්‍ය සංගමය හරහා එකකි. වෛද්‍ය සංගමය හරහා තව එකෙකි. සමාදාන විනිශ්චය කරුවන් වෙනුවෙන් තවත් එකකි (මා වෛද්‍යවරෙක් නොවේ. එහෙත් මේ කතාව කීවේ එවන් කෙනෙකි). මේවාට නොගියත් වැරදි ය. ඉර පැන ඇතැයි සැකයම කරදර කැන්දා ගැනීමක් බැවිනි. ගියහම ආත්මයම පාවාදී එසේ ආත්මය පාවා දුන් ජොන්සටන්ට හා එස්බීට සවන් දීමට සිදුවේ. සුභ අනාගතයක් යන පැතුම අසා ගෙන අවසානයේ එලියට ‍එන විට ඇතිවන ප්‍රශ්නය නම් ඒ වේල හරි ගිය ද හෙට වේලට ගන්නට හාල් කඩෙන් කීයට ගන්න වේවිදැයි යන්න ය.

දැම්මොත් චැනල් එකක් පෙනෙන්නේ රජතුමා සදහා කඩේ යන බහුරූ කෝලම් ය. චන්ද ගණනාවක පට්ට ගැසූ ඊළම් කතාව රැගෙන දැන් උන් පැරණි පාරේ අලුත් වටයක් යන්නට සූදානම් ය. ඒ දෙමළ ජාතික සන්ධානය සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා ය. එල්ටීටීය පැරදිලාවත් ඒ පරාජයට හේතු භූතවු ප්‍රධාන පුද්ගලයා සරත් ෆොන්සේකා නිසා වත් ඒ යල්පැන ගිය සටන් පාඨය හකුලා ගන්නට සූදානම් නැත. දෙමළ මිනිසුන් සමග අලුත් රටක් අලුත් ජීවිතයක් හදන්නට වුවමනාවක් නැත. දේශප්‍රේමය කියන්නේ දෙමළා නොසළකා හැරීම ලෙස මුන් අර්ථ ගන්වා තිබේ. මුන්ට ඕනෑ ආයිත් රට යුද්ධයකට පටලවා මෝඩ චුන් එකක් ලබන්න ය. ආයිත් වටයක් දෙමළ සන්ධානය සමග එක්ව සිටින සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ යනවා යයි කියා එසේ කරන්නවුන්ට දඩුවම් දීමේ ඉඩකඩක් ද එයින් පාදා ගත හැකි ය.

මැතිවරණයක් අවසාන වන්නේ තවත් මැතිවරණයක් පටන් ගන්න බලාගෙන ය.

වේදිකාවල පෙනී සිටීම, තමන්ගේ රූපය නරඹා ප්‍රීතිවීම, විරුද්ධවාදීන් දඩයම් කිරීම හා දෙමළා පරයෙකු කිරීම යන මේවා මානසික ව්‍යාධියක් දැයි සිතන තරමට පැතිර ගොස් තිබේ.

මේ යන විදිහට දිගටම යා නම් සුභ අනාගතයක් තබා තිබෙන ටිකත් ඉතිරිවේ දැයි සැක සිතේ.

මේවා අවසන් වී රට ගොඩ නගන සැබෑ සංවාදයක් ඇරඹිය හැකි දිනයක් ඉක්මණින් ලගාවෙයි ද? අපේ පැතුම ඒ අවකාශය ඉක්මණින් ලබා ගැනීමට ය.

Posted in: Uncategorized