ලසන්ත ඝාතනයේ සාපය

Posted on January 9, 2010



ලංකාවේ සුමාන දෙකක් යනු වෙන රටක වසරක් ඉක්මවන කාලයකි. එයින් කියන්නේ වෙන රටවල වසරකින් අමතකව යන දෙය ලංකාවේ සුමාන දෙකකින් මිනිසුන්ට අමතක වන බව පමණක් නොවේ.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධ සියලු විස්තර තමන් ඉදිරි සති දෙක ඇතුළත හෙලි කරන බව කීවේ රටේ මුල් පුරවැසියා නොහොත් අපේ රජතුමා ය.

ලසන්තගේ ඝාතනයට වසරක් පිරෙන මේ මොහොතේත් එය පොරොන්දුවක් හැටියටම පවතී. වෙන රටවල වසරක් ඉක්මවෙලාත් ලංකාවේ සුමාන දෙකක් ගෙවී නැතැයි අප කීවේ ඒකත් සළකා බලා ය.

නඩුවාර 23ක් පවත්වා ඇතත් එකම ප්‍රමාණික සැකකරුවෙකු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව ඇත.

ජනාධිපති තුමා දන්නා කාරණය ඒ දවස්වල ගිහින් අහගත්තා නම් පොලීසියට මෙහෙම පරිප්පුවක් කන්න වෙන්නේ නැත. ජනාධිපතිවරණය අභියස මේ ඝාතන පරීක්ෂනවලින් යම් වාසියක් ලබා ගත හැකි දැයි බලන්නට එය රහස් පොලීසියට පවරා තිබීම හැරුණුකොට වෙන දෙයක් සිදුව නැත. ගතවූ වසර 4 වූ හැම සිද්ධියක්ම ආණ්ඩුවට දේශපාලන වාසි ලබා ගත හැකි ද යන්න විමසන සිද්ධියකට වැඩි යමක් වෙලා නැත.

වසරක් පුරා කරන්නට බැරිවුන දෙයක් තව සුමාන දෙකකින් තාවකාලිකව මතුවන්නට වුව ඒ නිසා පුලුවන. මිරිහාන පොලීසියට කියන්නට පසු බෑ දෙය රහස් පොලීසියට කියන්නට හිත හදා ගත්තා වෙන්නටත් පුලුවන. ඒ සදහා වසරක් ගතවන්නට ඇත්තේ අමතක වීම නිසා විය යුතු ය.

ලසන්ත ඝාතනය ගැන මාධ්‍ය වේදියෙක් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසූ විට ඔහු දමන ලද පාච්චල් හිනහව අපට වසරක් ගිහිල්ලාත් අමතක නැත.

රජතුමාගේ මල්ලී එසේ අසංවේදී වන විට රජතුමා ලසන්ත තමන්ගේ මිතුරෙකු බවට පත් කර ගනිමින් සංවේදී වුයේ ය.

කලාකරුවන් කඩේ යන්නේ එසේ රගපෑ හැකි දක්ෂ නලුවෙක් වෙනුවෙනි. නලුවෙක් හැටියට එතුමා තරම් සංවේදී චරිතයක් දේශපාලන වේදිකාවේ නැත. කලාකරුවන්ට ඒ සම්බන්ධයෙන් ලජ්ජා හිතී ඒ නිසාම චන්දය දෙන්නැයි කියනවා යයි අපට හිතෙන්නේ ඒ නිසා ය.

ආණ්ඩුවේ වැඩ පිළිවෙල මූර්තිමත් කරන තනි සිද්ධියක් කියන්නැයි කීවොත් මට සිහියට එන්නේ ලසන්ත ඝාතනයයි. ඒ තුළ ආණ්ඩුවේ සියලු දුර්ගුණ මූර්තිමත් ය.

දූෂණය කර ගෙන යාමට බාධා රහිත වාතාවරණයක් සකස් කර ගැනීමට තිබූ තද වුවමනාව, විවේචනයට තිබූ බිය, විරුද්ධවාදීන් මර්දනය කරන්නට තිබූ ලජ්ජා රහිත භාවය, යුද්ධ ජයග්‍රහණය තමන්ට හිතුවක් කරන්නට හිරිකිතයක් නැතිව පාවිච්චි කිරීමේ මුග්ධ කම, නීතිය ගැන ඇති නොතැකීම, තමන් සතු නොහැකියාව යන බොහෝ දේ මේ තුළ ප්‍රදර්ශනය විය.

අප ඉන්නේ ජනාධිපතිවරණයක් අභියස ය. මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට චන්දය දිය යුත්තේ ඇයි දැයි කෙනෙකු ඇසුවොත් තනි සිද්ධියක් හැටියට ඉදිරිපත් කළ හැක්කේ ලසන්ත ඝාතනය හා ඊට පසු ඒ ගැන ආණ්ඩුව කටයුතු කළ ආකාරය යි.

ඒ සාපය මේ ආණ්ඩුවට හිමි ය. එය ජනවාරි 26 දා ආණ්ඩුවේ කද හරහා වදිනු ඇත.

Posted in: Uncategorized