ලංකාවේ බැංකුවල සේප්පු පිරී ඉතිරි යයි! ඒවායේ සල්ලි තැන්පත් කරන්නට දැන් ඉඩ නැත!

Posted on January 8, 2010



විනිමය පාලන නීති කිහිපයක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව ලංකාවේ පුරවැසියන්ට පිටරට බැංකු ගිණුම් විවෘත කිරීමටත් තමන් ශ්‍රී ලංකාවේ ඉපැයූ මුදල් ඒ බැංකුවල තැන්පත් කිරීමටත් අවසර ලැබේ.

ඇත්තටම මෙවැනි නිදහසක් ලබා දීමට මහ බැංකුව තීරණය කර ඇත්තේ ‍පහුගිය දිනවල රට තුළ සිදුවුනු සංවර්ධනය නිසා ඉහවහා යන ලෙස උපයා ගත් මුදල් ලංකාවේ බැංකුවල දාන්නට බැරි තරමට ලංකාවේ බැංකුවල සේප්පු ඉතිර ගොස් තිබෙන නිසා ය. සල්ලි දමන්නට එසේ මුදල් උපයා ගත් අය ගියවිට ඒවායේ ඉඩ නැතැයි බැංකුවලින් කී බවක් මහබැංකුවට වාර්ථා වී තිබේ. ඒ අයට සල්ලි කොහේ හෝ දැමීමට මාර්ගයක් සැළසී ම ආණ්ඩුවේ යුතුකම ය. පිටරට බැංකුවල තැන්පත් කිරීමට අවසර ලැබෙන්නේ ඒ අනුව ය.

කවුරු මොනවා කීවත් සංවර්ධනයේ තරම පෙන්නන්නට මීට වඩා සාක්කි ඕනෑ නැත.

සමහරු කුපාඩි කමට කියන්නේ යටිමඩි ගසා ගත් මුදල් රටින් පිටකර ගැනීමට ජනපතිවරණයට පෙර වුවමනා වූ බව ය.

වෙනදා තමන් කරන ඕනෑම වැඩක් සම්බන්ධයෙන් මහා ලොකුවට කතා පවත්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී නිහඩ ය. ඒ නිසා එක එකාට තමන් කැමති ආකාරයට මේ සිද්ධිය අර්ථ දක්වා ගැනීමට නිදහස ලැබී තිබේ. මිනිස්සු එවැනි කුණු කතා කියන්නේ එබැවිනි. අපට පෙනෙන හැටියට මහ බැංකුව ඇතුළට ද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් රිංගා තිබේ.

ආණ්ඩුවට පක්ෂපාත අය මහ බැංකුව තුළ මේවනවිට ඉතිරිව සිටී නම් ටිකක් බරපතල හේතුවක් දී ඒ තත්වය මගහැර ගන්නවා නම් හොද ය.

හේතුවක් හොයා ගැනීමට බැරිනම් විමල් වීරවංශගෙන් අසා දැන ගැනීම  හොද ය. පුංචි පරහකට ඇත්තේ එතුමාත් දැන් ලංකාවේ ගේ හැදිල්ල පැත්තක දමා විදේශ ගතව ජීවත්වන්නට හිත හදාගන්නට උත්සහ කරමින් සිටිම ය. එන්න එන්නම සද්දේ වැඩිවෙනවා විනා වෙන අලුත් යමක් ඒ ඔලුවෙන් එන්නේත් නැත. ඉතින් ඒකත් එහෙම නම් අපි කාට කියමුද මේ අවනඩුව!

Posted in: Uncategorized