56 දරුවන් සේවය කළේ ප‍්‍රතිගාමිත්වයට ය.

Posted on January 7, 2010



56 දරුවන් පෙරලියක් කරනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වූහ. කොළඹ එලීටයට හා ප‍්‍රාදේශීය රදළ නායකත්වය අතරෙ දෝලනය වුනු බලය උන් විසින් උදුරාගෙන රටට යහපතක්ම කරතැයි සමහරු සිතූහ.

එහෙත් ඒ කිසිවක් සිදුවුනේ නැත.

උන් මෙම නායකත්ව කදවුරු දෙකට කඹුරමින් එදාවෙල සරිකර ගත්හ.

එයිනුත් නොනැවතී රට වාර්ගික අර්බුදයකට යොමු කිරීමෙ පිඹුරු පත් ද සැකසූහ.

අදටත් වාර්ගික අර්බුදය විසඳීමට ඉඩ නොදී ඊට මග අවුරා ගෙන ඉන්නේ මෙම පැළැන්තියයි. පරිපාලන සේවය කවදාවත් නැති විදිහකට දේශපාලනීකරණය වී ඇත්තේ ද සරසවිය ඉපැරණි හණමිටි රසකර කර රටට දෙන තෝතැන්නක් කර තිබෙන්නේ ද මේ පරපුර ය. ලාංකීය කලා කෙත පුරන් කර එහි ‘ගංජා’ වවමින් ඉන්නේ ද මේ පරපුරේ උදවිය ය. වංචාව දූෂණය බොරුව මගඩිය ඥාති මිත්‍ර සංග්‍රහය බලය නග්න ලෙස භාවිතා කිරීම යන සියල්ල අත දරා සිටින්නේ ඔවුන් ය.

ශ‍්‍රී ලාංකික ජාතික රාජ්‍යයක් හදනු වෙනුවට උන් පෙනී සිටියේ සිංහල බෞද්ධ වාර්ගික රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙනි. ඒ සදහා ඉහත සියල්ල භාවිතා කරන ලද අතර එහි අස්වැන්න ලෙස තමන්ගේ පුද්ගලික අටුකොටු උන් පුරවා ගත්හ.

ඇත්තටම කොළඹ එලීටයට වාර්ගික වෙනස් කම් එහෙමකට නැත. ප‍්‍රාදේශීය රදළයන්ට ද සිංහල බෞද්ධ වාර්ගික රාජ්‍ය අවශ්‍ය වනුයේ බලයේ සිටින වුවමනා වෙනුවෙන් කඩෙ යවන්නට පමණ ය. මුල් කොටස ලාභය උපයා ගැනීම සදහා ව්‍යාපාර කිරීමට පසුබිමක් ඉල්ලා සිටින අතර දෙවැනි කොටස ඒ තුළ සිංහල බෞද්ධත්වය භාවිතා කරමින් තමන්ට වැඩිපංගුවක් ඉල්ලන අයගෙන් සමන්විත ය.

එහෙත් 56 දරු පරපුර සිංහල බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් කැපව සිටී.

56 දරු පරපුර නායක කම් නොදැරුවාට උන්ගේ මෙම වුවමනාව දෙගොල්ලන් ලවාම ඉටු කර ගැනීමට උන් සමත්ව සිටී. උන්ගේ මෙම සාර්ථකත්වය රටෙ අභාග්‍ය යයි.

56 දෙමළ දරුවන් 56 සිංහල දරුවන්ගේ බිහිවීම නිසා ගොඩ නැගුණු දර්පන ප‍්‍රතිබිම්බ යයි. 56 මෙම බෙදීම ආරම්භ කළ සංලක්ෂය යයි කීවත් වැරදි නැත

56 දරුවන්ට රටට නායක කමක් කරන්නට තරම් දෙයක් කරන්නට බැරි ය. එහෙත් රටට කෙළවන්නට නායකයින් මෙහෙයවන්නට උන්ට හැකි ය. උන්ඉතිහාසය පුරා කළේ එයයි.

56 නැවත නැවතත් කියවිය යුතු විමසිය යුතු ඉතිහාසයේ සන්ධිස්ථානයක්ව ඇත්තේ ඒ නිසා ය. 56 දරුපරපුර සිය භූමිකාව විමසා පාපෝච්චාරණයක් කළ යුත්තේ ඒ නිසා ය.

භූගොලීයව නොව මිනිසුන්ගේ හදවත් එක් කිරීමෙන් එක්සත් රටක් ගොඩ නැගිය හැක්කේ ඉතිහාසයෙන් ඉගෙන ගැනීමෙනි. ජනවාරි 26 දා ඇතිකරන වෙනසක් ඵලදායී විය හැක්කේ එවැනි ඉගෙනීමකට අවශ්‍ය සංවාදයක්වත් ගොඩනැගීමට එයින් අවකාශයක්, ඉඩක්, සැපයෙන්නේ නම් පමණි.

අප අපේක්ෂා දල්වා ඒ දෙස බලා සිටින්නේ ඒ නිසාය.

Posted in: Uncategorized