හංසයාට බයයි මල්ලියේ…මම…සිංහයා වුනත් මල්ලියේ…

Posted on January 6, 2010



දිනක් කැලයේ යන කෙනෙකුට සිංහයෙක් දක්නට ලැබිණ. උගේ කටේ පමණක් නොව මූහුනේ ද ලේ තැවරී තිබුනි. ඒවා දිවෙන් පිහදාමින් ඌ සිටියේ ය. පැත්තක බාගෙට කා දමා තිබූ ලොකු මුවෙකුගේ සුන්බුන් විය.

සිංහයා මුවා මරන්නට ඇත් ද?

එහෙම වෙන්නත් පුලුවන. එහෙත් එහෙම නොවුනා වෙන්නට බැරි ද? මුවෙකුගේ සිරුරක සුන්බුන් ලග සිංහයෙකු වැතිර සිටි පමණින් සිංහයා මුවා මැරෑ බව හෝ මුව මස් අනුබව කළ බව කිව හැකි ද?

සාක්කි නැතිව එසේ කීම වැරදි ය.

දූෂණය ගැන අපේ සමහර වාද ද ඒ වගේ ය.

සල්ලි හොරකම් කළ බවට සාක්කි නැතත් කරන වියදම් වලින් මේ නම් උපයා ගත් මුදල් විය නොහැකි යයි පෙනෙයි. පාල‍නයේ හැටි ස්වභාවයෙන් හොරකමින් තොර පාලනයක් ගෙන යාමේ වුවමනාවක් නැති බව ද පෙනේ. එහෙත් අප ඒවා දකිද්දීත් නිසි සාක්කි නැති නිසා ඒවා එසේ නොවේ යයි හිත හදාගනිමු.

ඒත් හොරා පමණක් නොව හොරාගේ බත්බැලයින් ද කියන්නේ තමන් හොරකම් කළ හා කරන බව ඔප්පු කළ යුතු බව ය. එසේ කියන ඔවුහු අනිත් මිනිසුන්ගේ දත් කලු ව ඇති නිසා ඔවුන් ගංජා ගහන නිසා බව කියති. පළමු අනුමානය ප්‍රශ්න කරන ඔවුහු දෙවැනි අනුමානය නිකම්ම අනුමානයක් නොව නිෂ්චිත නිගමනයක් බව දිවුරා කියති.

මුවාගේ සුන් බුන් කිට්ටුවෙන් ගිය හංසයෙකු මුවා මැරෑ බව සිංහයාගේ බත්බැලයෝ කියති. හේතුව උගේ ඇගේ ද ලේ තැවරී තිබීම ය.

හංසයා මුවාට කෙටූ හැටි පමණක් නොව වෙනත් හංස ධේනුවන් දූෂණය කළ හැටි ද ඔවුහු රස කර කර විස්තර ඇතිව බලා සිටි පරිද්දෙන් කියති. ඒ ගැන සාක්කි ඇත් දැයි අසන අයට තොපි මුවා මැරීමට අපව ඇල්ලුවේ සාක්කි තිබිලා දැයි තවදුරටත් අසති.

අපගේ ‍බ්ලොග් සටහන් දෙකක් (ඔප්පු නොකළ දූෂණය සිදුව නැති දූෂණයකි සහ අහෝ ශ්‍රී ලංකාව උඹ ඇදගෙන නාන නෑමක්) පරස්පර යයි දක්වමින් තවත් බ්ලොග් අඩවියක පළවු සටහනක් දැක මේ උපහැරණය ගෙනාවෙමු.

මේ සටහන් දෙක අතර පරස්පරයක් ඇතැයි පළවූ එම සටහන දුටු අපට සිතුනේ මිනිසුන්ගේ මොළය කෙතරම් කුඩා ද කියා ය. එහෙත් ඒ කුඩා මොළයට තේරෙන කතාවකින් අපි මේ සටහන් දෙක අතර පරස්පරයක් නැතැයි කියා දෙන්නට සිතුවෙමු.

එහෙත් ඒ බව තේරුම් ගන්නට හැකි වුනා දැයි අපි නොදනිමු.

බොහෝ අයට තමන් සතුව ඇති බඩේ තරමට මොළයක් තිබුනා නම් අප අද මුහුණ දෙන අර්බුදය අප රටේ ඇති වන්නේ නැත.

Posted in: Uncategorized