අහෝ ශ‍්‍රීලංකාව, උඹ ඇද ගෙන නාන නෑමක්?

Posted on January 5, 2010



බූරුවා නම් කෙනෙකු අපගේ බ්ලොග් අඩවියට වැද සරත් ෆොන්සේකාගේ අතීත කැරැට්ටුව අල වෙන ආකාරයේ නම් ගම් සහිතව ගැහැණු හුටපට වගයක් ද තවත් ලිංගික චෝදනා වගයක් ද ගෙනැවිත් තිබුණි.

මෙයින් උද්දාමයට පත් තවත් පාඨකයෙක් අප අමතා ඔයි බියොන්ඩ් ෆ්රෙම දැන් තමුසෙ මොකද කියන්නේ යැයි මහත් ආඩම්බර ප‍්‍රශ්නයක් ද අසා තිබිණි.

එම චෝදනා (ඇත්ත නම්), සරත් ෆොන්සේකාට චන්දය දීමට පෙර නැවතත් සිතිය යුතු යයි කෙනෙකුට හිතෙන තරමෙ බරපතල ඒවා ය.

එහෙත් කියන සමහර කාරණා ඊයේ පෙරෙදා නොව චෝදනා කරන්නන් කියන පරිදිම වසර ගණනාවක් පැරණි ඒවා ය.

ඒවා සපයා ගත් මූලාශ‍්‍ර නැත.

ඒවා චෝදනා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා නමින් පෙනී සිටින්නේ නැති බූරුවෙකි.

මෙතෙක් එලියට නොආ ඒවා දැන් එලියට එන්නේ කෙසේ ද යන්න බුද්ධිමත්ව මෙවන් චෝදනා පත‍්‍රයක් දෙස බලන්නෙකුට ප‍්‍රශ්නයක් ලෙස මතු වෙයි.

ඒවා ට විරුද්ධව පියවර නොගත්තේ ඇයි ද යන්නත් මෙවැනි ට‍්‍රැක් රෙකෝඩ් එකක් සහිත කෙනෙකුට හමුදාපති පදවිය පිරිනැමුවෙ කවුද යන්නත් ඒ සමග කෙනෙකුට ප‍්‍රශ්නයක් ලෙස මතුවෙයි.

මෙය අපේ රණවිරුවන්ගේ ප‍්‍රධානියාගේ රෙකෝඩ් එක නම් ඔහු යටතේ මෙහෙයවූ හමුදාව උතුරෙ කෙසේ කටයුතු කරන්නට ඇති දැයි තවත්අතුරු ප‍්‍රශ්නයක් ද මතුවෙයි. හිලරි ක්ලින්ටන් කියුවෙ ඇත්ත දැයි යන ප‍්‍රශ්නය ඒ අනුව තවත් භයානක ලෙස නැවතත් එලියට එයි.

දේශපේ‍්‍රමීන්ගේ හැටි ස්වභාවය ගැන තක්සේරුවක් ද මෙ චෝදනා හරහාම දේශදෙ‍්‍රා්හීන්ට ඇති කර ගන්නට හැකි වෙයි.

මෙ චෝදනා බටහිර අධිරාජ්‍ය වාදීන්ට පමණක් නොව කොටි ත‍්‍රස්තවාදීන්ට ද මීපැණි මෙන් වන නිසා මෙය කොටි හා සම්බන්ධ අධිරාජ්‍ය වාදී කුමන්ත‍්‍රණයක් වත් දැයි විමල් වීරවංශගෙන් අසා දැනගන්නට අපට සිද්ධ වෙයි.

අහෝ ශ‍්‍රීලංකාව උඹ ඇද ගෙන නාන නෑමක්?

(මෙම චෝදනා ඉදිරිපත් කරන තැනැත්තා තමන් නමින් ඉදිරිපත් වන්නේ නම් එවිට චෝදනා බොරු නම් නඩු ගන්නට චුදිතයාට අවස්ථාව ලැබෙයි. එසේ නැතිව ඉදිරිපත් කරන චෝදනාවල විශ්වාසනීයත්වයක් නැත. ගමෙ ගොඩෙ ඒවා හඳුන්වන්නේ කෑලෑ පත්තර ලෙස ය. පත්තරයකට විරුද්ධව නඩු ගත හැකි මුත් කැලෑපත්තරයකට විරුද්ධව නඩු ගත නොහැකි ය.

මෙයත් එවැනි කැලෑ පත්තරයක් ලෙස ඉවත දැමිය යුතුය. ඉවත දැමිය හැකි ය. අප එම චෝදනා පත‍්‍රය ඉවත් කළේ ඒ නිසා ය.)

Posted in: Uncategorized