රජතුමා හා භාරකාරයා (මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා)

Posted on January 3, 2010



රජතුමා හා භාරකාරයා අතර වෙනසක් තිබේ.

රජු සියලු දේපලවල අයිතිකරුවාය. කිසිවෙකු නොවිමසා ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට පවරා දීමට ඒ නිසා රජුට හැකි ය.

තමන්ට මෙහෙවර කළ අයට ගම්බිම් පවා ප‍්‍රධානය කිරීමේ බලයක් රජුට තිබේ. ඒ අනුව මල්වතු අස්ගිරි දෙපාර්ශවයට බෙන්ස් රථ පූජා කීරීම ඇතුළු බොහෝ පවරා දීම් කළ හැකි ය.

භාරකරුට ඒ සෙල්ලම් බැරි ය.

ඔහු ඒවා රැක ගත යුතු ය. නිසි අවසරය නැතිව තමාගේ හිතවතුන්ට ඒවා පැවරීමටත් තමන්ට රිසිසේ ඒවායින් සංග‍්‍රහ කිරීමටවත් තමන්ට අවශ්‍ය සේ ඒවා පාරිභෝජනයටත් භාරකාරයාට අවසර නැත.

අපට ඉන්නේ රජෙක් ද බාර කාරයෙක් ද යන්න දැන ගැනීමට කැමති අයට ඔය නිර්ණායක භාවිතා කළ හැකි ය.

ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රීලංකා සංවිධානය නම් කියන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාරකාරයා දැනටම රු බිලියන අටක් වියදම් කර ඇති බව ය.

එහෙම කරන ගමන්ම අපේ රජතුමා රජකම අත්හැර භාරකාර කම ගෙන තිබෙන බවක් කියන්නට දුර්වල උත්සහයක් ගෙන තිබේ.

ඇත්තටම රජතුමා වෙනුවෙන් හදපු ඔටුන්නක් ද සිංහාසනයක් ද මේවන විට පාවිච්චියට නොගෙන පැත්තක තබා තිබේ.

ඒවා එලියට එනු ඇත්තේ ජනවාරි 26 දා බැරිවෙලාවත් නැවත පත්වුනොත් ය.

විධායක ජනපති තනතුරේ බලය වෙනස් කිරීම මගින් එය රජකමේ සිට භාරකාර තනතුරට පහත හෙලන බවට පොරොන්දු දුන් කෙනෙක් ද මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී ඇත.

රජකමත් භාරකාරකමත් අතර වෙනස පැහැදිලිව කරලියට ගෙන ඒමට ඒ මගින් හැකි ව තිබේ. රජුට ඇන්දාවූ අය පල්ලම් බැස ඔටුනු සිංහාසන ඉවත දමා තමන් භාරකාරයා යයි කියා සිටියේ ඒ අනුව යැයි බොහෝ අය කියති.

භාරකාරයා ලග පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා දැයි විපරම් කර සුදුස්සක් කිරීමට කාලය පැමිණ තිබේ. එහෙම විපරම් කිරීමට අපොහොසත් වෙතොත් භාරකාරයා හෙමින් සීරුවේ ඔටුනු පළදින කම් ජනතාව දැනගන්නා එකක් නැත.

අපට ලැබෙන්නේ රජෙක් ද නැත්නම් භාරකා‍රයෙක් ද යන්නට හරි තීන්දුව ලැබෙන්නේ ජනවාරි 26 දායින් පසු ය.

Posted in: Uncategorized