සන්ඩේ ලීඩර් විශ්වාසයට ගත යුතු ජාතික පුවත්පතක් ද? බැහැර කළ යුතු මඩ ගසන අවර ගනයේ කැළෑ පත්තරයක් ද?

Posted on December 29, 2009



සන්ඩේ ලීඩර් පත්‍රය යනු බැහැර කළ යුතු, සතයකට විශ්වාසයක් නොතැබිය යුතු, අවලාද පමණක් නගන මඩ පත්තරයක් ද?

නැත්නම් සෑම සති අන්තයකම පරිහරණය කළ යුතු, විශ්වාසවන්ත ප්‍රවෘත්ති රැගත්, බුද්ධිමය සංවාදයක යෙදෙන ජාතික පුවත්පතක් ද?

අප මේ අසන්නේ අපගේ නොදැනුවත්කම නිසා ය. අසන්නේ මේ රටේ ඉන්නා කප්පරක් විද්වතුන්ගෙනි.

ඇත්තටම විමල්වීරවංශගේ ගෑණු හුටපට ගැනත්, වනස්පති ඇතුළු වෙළද ඩීල් ගැනත්, නාන තටාක සහිතව ඉදිකරන මහා මන්දිර ගැනත් කතා කළ කාලයේ, එය තුට්ටුවකටවත් මායිම් නොකළ යුතු, උත්තර දීමට පවා කාලය වැය නොකළ යුතු කැළැ පත්තරයක් විය.

හිටිහැටියේ සියල්ල උඩු යටිකුරු වී තිබේ. මේ දවස්වල විමල් වීරවංශ බලන්නේ ඒ පත්‍රය විතර දැයි විමල්ට කන් දෙන කෙනෙකුට සිතුනහොත් එය පුදුමයට කරුණක් නොවේ. තත්වය ඒ තරමටම අනෙත් පැත්ත හැරිලා ය.

ඒ තරමට එතුමා ඒ පුවත්පත හා ආදරයෙන් බැදී සිටි. ඇත්තටම එල්ලෙන්න වැලක් හොයද්දී විමල්ට සන්ඩේලීඩර් හමුවුනා වැනි ය.

ඒ පත්‍රයේ කර්තෘ කම් කළ ලසන්ත වික්‍රමතුංග මරා දමනු ලැබූ විට ලසන්ත කියන්නේ කවුදැයි සෝපාහාසයෙන් ප්‍රශ්න කළ ආණ්ඩුවට දැන් ඒ පත්‍රයේ කර්තෘ කම් කරන කතෘතුමියගේ වචනය දේව වචනයට නොදෙවෙනි වී තිබේ. එය ලංකාවේ විශ්වාසයට ගත යුතු එකම ප්‍රකාශය ලෙස දැන් එය ආණ්ඩුව විසින් භෞතීස්ම කර තිබේ. වයසට ගිය කාලයේ ඇස් නොපෙනෙන කෙනෙකුට ලැබුණු කණවැලක් සේ ආණ්ඩුවේ බොහෝ දෙනා සන්ඩේ ලීඩර්ට දැන් සළකන්නෝ ය.

ලංකාව තුළ සියල්ල උඩු යටි කුරු වීමට ගත වන්නේ නිමේෂයකි. එය ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයට ද පොදු සත්තතාවක් වී තිබේ.

එජාප ය සරත් ෆොන්සේකා කියන දෙය මිසක සන්ඩේ ලීඩර් කර්තෘ කියන දෙයට බරක් තියන්නට සූදානම් නැත (ආණ්ඩුව විසින් වෙනත් බොහෝ මාධ්‍යයන් හා කර්තෘවරු මිලදී ගත් ලෙසට සන්ඩෙ ලීඩර් පත‍්‍රයේ කතු තුමියවත් මිලට ගෙන තිබෙ ද).

‍ජවිපෙ වෙනුවෙන් දඹර අමිල හිමියන් කියන්නේ ආණ්ඩුව සමග විරසකව සිටි සන්ඩේ ලීඩර් පුවත්පතට බලපෑම් කොට ආණ්ඩුව එය තමන්ගේ පැත්තට නම්මවා ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් හා එක්ව තමන්ගේ අපේක්ෂක සරත් ෆොන්සේකා පැරදීමට හවුලේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ය (ජවිපෙට සෙසු දේශප්‍රේමීන්ට මෙන්ම කුමන්ත්‍රණ ගැන පුදුම දැනුමක් තිබේ).

සන්ඩේ ලීඩර් පත්‍රය ගැන අප විසින් ඉදිරියේදී කුමන අස්ථානයක් ගත යුතු දැයි මේ හැම කණ්ඩායමකින්ම අප අසන්නේ ඇත්තටම මේ සියල්ලෙන් අපේ මොළ කොළොප්පම් වී ඇති නිසා ය.

Posted in: Uncategorized