අපක්ෂපාතී රජතුමා

Posted on December 28, 2009



කිසියම් ස්ත්‍රියක් කළ කලබැගෑනියක් නිසා පාප්තුමා බිම වැටුණු බව අසා වඩාත් කම්පා වූවන් අතර අපගේ රජතුමාද වෙයි. පාප්තුමාට නැගිට දේව මෙහෙය කර ගෙන යාමට ඉඩ ලැබීම ගැන සතුට පළකල රජතුමා එතුමාට ඉක්මණින් සුවය ද ප්‍රාර්ථනා කළේ ය.

පහු ගිය දවස්වල තමන්ගේ ඇම්බැට්ට ‍පක්ෂයක් වූ ජාතික හෙළ උරුමය දේවස්ථානවලට පැන පහර දී දේපලවලට අලාභහානි කළ විට මුවින් නොබැණ නෑසූ කන් ඇතිව සිටි රජතුමාට මේ සුළු සිද්ධිය මෙතරම් ලොකු දෙයක් වූයේ පාප්තුමාගේ අති ශුද්ධවන්ත භාවයට අලගු තියන්නටවත් ලංකාවේ පල්ලිවලට බැරි නිසා විය හැකි ය.

රජතුමා කෙරෙහි කවදත් කෝපයෙන් පසු වන විපක්ෂයේ කට්ටිය නම් කියන්නේ හෙට අනිද්දා මැතිවරණයේදී කතෝලික චන්ද ටික ගොඩ දාගන්නට මෙය කරන්නට ඇති බව ය.

සමහර කුපාඩි කතා කියන අය නම් කියන්නේ ගෑණිට බයේ මෙදා පාර නම් කට ඇරිය බව ය.

තවත් අය කියන්නේ මැතිවරණ ඉදිරියේ බැවින් මේ ප්‍රකාශය කරන්නට හෙළ උරුමයේ අනුමැතිය ලැබෙන්නට ඇති බව ය.

අපට නම් හිතෙන්නේ සංවේදී නායකයා හොයන ජනතාවට පිහිටක් වීමේ අදහසින් එතුමා මෙය කරන්නට ඇති බව ය.

දඹර අමිල හිමියන් ප්‍රශ්න කිරීම සදහා රහස් පොලීසියේ අත්අඩංගුවට ගත් ආණ්ඩුවක් මෙසේ ලොව වෙනත් ප්‍රදේශවල පූජකයින් ගැන කරුණාව දක්වන්නට යාම විහිලුවක් බව කියන මිනිසුන්ට අප කියන්නේ ඒ තුළින් රජතුමාගේ අපක්ෂපාතය ලොවටම පෙන්නා ඇති බව ය.

තමා බෞද්ධයෙකු වුවත් බෞද්ධ භික්ෂුවක් වැරදි කළ විට ඊට දඩුවම් කිරීමට පසුබට නොවන බවත් එසේම වෙනත් පූජකවරයෙකුට වුව යම් අකරතැබ්බයක් වූ විට තමා බෞද්ධ ද යන්න නොසළකා ඒ පිළිබදව කණගාටු වන බවත් රජතුමා මෙයින් කදිමට ‍ඔප්පු කර ඇත.

සමහරු මේ පන්නා දමන්නට හදන්නේ මෙවැනි අපක්ෂපාත පාලකයෙක් බව දැනෙන විට ඇත්තටම හදවතට දැනෙන්නේ දැඩි සංවේගයකි.

අම්මප මෙවැනි සංවේදී රජෙක් පන්නා දැමීමට කල්පනා කරන මුනුත් මිනිස්සු ද?

(රස්සාවල් නැති අපේ පාඨකයින්ට පොඩි ඔත්තුවක් දීමට අපි කැමැත්තෙමු. ඕනෑම හින්දු කෝවිලක හෝ මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙකුට කවුරු හෝ කෙණහිල්ලක් කළොත් ජනාධිපති මාධ්‍ය ඒකකයට වාර්ථා කරන්න. වෙන මොකවත් නැතත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය වාර්ථාකාරයෙක් වීමේ වරම ලැබෙන්නට හොදටම ඉඩ තිබේ. ඉස්සරහට මාධ්‍යකට සෙට්වෙලා ඉන්න එකේ වාසි බොහෝමයක් ඇත. ඒ ගැන විස්තරයක් ඉදිරියේ දී ඔබ වෙත ගෙන එන්නෙමු.)

Posted in: Uncategorized