යුද ජයේ සැබෑ උරුමක්කාරයා සෙවීම

Posted on December 27, 2009



යුද ජයේ සැබෑ උරුමක්කාරයා සෙවීම සදහා ප්‍රවේශ දෙකක් තිබේ.

පළමුවැන්න යුද්ධය ඇරුණුකොට ඉතිරි ක්ෂේත්‍රවල අප ජය ගෙන තිබේ ද යන්න විමසීම ය. එය එසේ නම් දේශපාලන නායකත්වය ඉතා පැහැදිලිව යුද්ධයේ ජය සම්බන්ධයෙන්ද උරුමක්කාරයෙක් වෙයි. එහෙත් ජය ගත් එකම ක්ෂේත්‍රය යුද්ධය වනවිට එවැනි නිගමනයකට පැමිණිය නොහැකි ය. මේ ගැන අපි සටහනක්ම වෙන් කළෙමු.

දෙවැනි ප්‍රවේශය යුද්ධය ගැඹුරින් විමසීම ය. ඊට අවස්ථාවක් ද අපි ලදිමු. මේ සටහන ඒ වෙනුවෙනි. ඊට ප්‍රවේශය ලැබුනේ යුද බිමේ අවසාන සටන දක්වා සිටි මේජර් වරයෙකුගේ මුණ ගැසිමෙනි. අපි ඒ වචනවලට සවන් දෙමු.

යුද්දෙ ජයග්‍රහණය සදහා මූලිකවම බලපෑවේ යුද උපාය මාර්ග. එක් පෙරමුණක වෙනුවට පෙරමුණු කීපයක සටන් කරන්න ගත්ත උපාය මාර්ගය ඉන් පළමුවැන්න. විශාල හමුදාවක් හැටියට නැතිව කුඩා කණ්ඩායම් හැටියට සතුරාට කෙනිත්තීම ඉන් දෙවැන්න. ප්ලැටූනයක වේවා වෙනත් යුද කණ්ඩායමක නායකයෙක් අසාර්ථක වූ විට ඔහු ඉවත්කොට දක්ෂ කණිෂ්ඨයෙක් ඒ සදහා පත් කිරීම තමයි තෙවැන්න. ඒවාගේ විවිධ උපාය මාර්ග රැසක් තිබුන.

මේවා බොහෝමයක් යුද්ධ ශිල්පයේ ඔතොඩොක්ස් උපාය මාර්ග නොවෙයි. පොතේ තියෙන ඒවා නොවෙයි. ඉන් පිට ඒවා. මේ උපාය මාර්ග සරත් ‍ෆොන්සේකාගේ ඒවා. එතුමා ඉතා තද විනයක් තියෙන කෙනෙක්. ඒ ‍විනය එතුමා කණිෂ්ඨ සොල්දාදුවන්ගෙන් පමණක් නැතිව ජේෂ්ඨ නිලධාරීන්ගෙනුත් ඉල්ලා හිටියා.

එතුමා ජේෂ්ඨ නිලධාරීන් අතර එතරම් ප්‍රසාදයක් දිනා ගෙන නොසිටියත් සොල්දාදුවන් අතර ප්‍රසාදයක් ලබා ගෙන හිටියා කාටත් එක හැන්දෙන් බෙදන කෙනෙක් හැටියට. එතුමා ලගට ගත්තේ අගය කරෙ ප්‍රථිඵල ඇති කළ අය. ඒ අය කණිෂ්ඨයින් වීම එතුමාට ප්‍රශ්නයක් වුනේ නැහැ. යුද්ධය ජයගැනීම පිලිබද රහස තියෙන්නේ එතැන.

ඉතින් මේ සංවාදයෙන් පෙනෙන්නේ කුමක්ද? යුද ජයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන්න හඩ්ඩාටවත් මහින්ද අබේසුන්දරටවත් රජයට කහින කාටවත් බැරිබව නොවේද? එහි සත්‍යය පිරිසිද දැනගන්න නම් හමුදාවේ පහළ මට්ටමේ නිලධාරීන් හා සොල්දාදුවන්ගෙන් අහන්න ඕන බව නොවේ ද?

ඒත් රජය විදේශීය බලවේග වලට හිස නමන්නේ නැතිව දිගටම එක මතයක හිටිය එක බලපෑවේ නැත් ද? අපේ ඊලග ප්‍රශ්නය වුනේ ඒක.

ඇත්ත තත්වය නම් ඊට හේතුව යුද්ධය එක්තරා දුරක් යනකොට ඊටම හිමි මාවතක් ජවයක් (මොමෙන්ටම් එකක්) ගත්ත එකයි. බැරිවෙලාවත් විදේශීය බලවේග හරි ඉන්දියාවෙ හරි මතය අරගෙන යුද්ධය නතර කරන්න ලෑස්ති වුනානම් යුද්ධ හමුදාව තුළින්ම අර්බුදයක් එන්න තිබුන. ඇත්තටම කියනවනම් එක දුරක් ගියාට පස්සේ ඉන්දියාවට නෙවෙයි ලෝකයාට නෙවෙයි රජතුමාට නෙවෙයි සරත් ෆොන්සේකාට ඕන වුනත් යුද්ධය නවත්වන්න බැරි ගාණකට ඉස්සරහට ගිහිල්ල තිබුන.

මෙය අවසන් සත්‍යය ලෙස බාර ගත යුතු නැත. මෙය එක් මේජර් කෙනෙකුගේ මතය ය. එහෙත් ආණ්ඩුව තම හොරණෑවලින් උදේ හවස පිඹින තනුව හරියටම නිවැරදි දැයි නැවත ඇස් ඇර බැලීමට මෙය අප යොමු කරන්නේ ය.

අප දන්නා හැටියට යුද්ධයේ ජයට හේතුවූ අමතර කාරණයක් ඇත. සිවිල්වැසියා හෝ හමුදාවේ සොල්දාදුවන්ගේ ජීවිතවලට එහිදී තබන ලද අඩු ලන්සුව ය.

ඒ ගැන නම් අපි ආණ්ඩුවට පමණක් නොව හමුදාවටද සමාව දෙන්නේ නැත.

ජයේ උරුමය පිටුපස දක්ෂ කළමනාකරණය හා උපාය මාර්ග මෙන්ම අමානුෂීය අසංවේදීතාවය ද තිබුනේ ය. උරුමක්කාරයාට ඒ පාපය ද අයිති ය. ඒ පවට වන්දි ගෙවීමක් අවශ්‍ය වෙයි. ඒ බැට කෑ දෙමළ ජනතාවට හා තුවාල ලද සොල්දාදුවන්ට ය.

උරුමක්කාරයා කවරෙක් වුව ද උරුමක්කාරයාගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ ඊට වන්දි ගෙවීමට ද ලෑස්තිවන ලෙස ය.

Posted in: Uncategorized