රජුගේ අභාග්‍යය

Posted on December 26, 2009



යුද කළේ කවුද? යුද ජයග‍්‍රහණයේ සැබෑ උරුමක්කාරයා කවුද? ඒ ප්‍රශ්නයන්ට ප්‍රශස්ත උත්තර දන්නේ යුද පෙරමුණේ සිටි භටයා ය.

යුද්දය ජයග‍්‍රහණය කළ ද ජනවාර්ගික ප‍්‍රශ්නය එහෙමම ඇතැයි දන්නේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ජනතාව ය.

පළමු වගකීමේ වැඩි බරක් හමුදාවට හිමිවන විට දෙවැන්නේ වැඩි බරක් හිමිවන්නේ රජයටය.

යුද්ධය දිනූ මුත් තවමත් සාමය දිනා ගැනීමට ඇතැයි කියවෙන විට මෙම කාරණය ප්‍රබලව ඉදිරියට එයි.

පළමු සාර්ථක වූ වෑයම සම්බන්ධයෙන් මෙන්ම දෙවැනියට කී අසාර්ථක වූ වෑයම සම්බන්ධයෙන් ද කවුරු මොනවා කීවත් ඊට මුහුණ  දුන් දෙන අයට දැනෙන හැගෙන යමක් තිබේ. රජුගේ අභාග්‍යය ඇත්තේ වචනයෙන් ආපස්සට හැරවිය නොහැකි ඒ දැනුම තුළ ය.

පුවත් පත් වල හා රූපවාහිනිවල වචනයෙන් කුමක් කීවත් මහ පොළොවෙ ඇත්තේ කුමක් දැයි බල න දකින ජනතාව දනිති. හගිති.

වටපිට බලන විට පෙනෙන්නේ කුමක් ද?

යුද්ධය දිනූ ආණ්ඩුව ඩෙංගු යුද්ධයෙන් සූකර උණ යුද්ධයෙන් එන්නත් යුද්ධයෙන් පැරදී සෞඛ්‍යයෙන් පිරිහී සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව ප‍්‍රශ්න පත‍්‍ර යුද්ධයෙන්සිසුන් සිය දිවි නසා ගැනීමෙ සිට නෙක අර්බුදයන් ඇති අධ්‍යාපන යුද්ධයෙන් පැරදී උකටලීව ඉඳින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව අත්‍යවශ්‍ය ආහාර ටිකවත් සාධාරණ මිලකට පමණක් නොව ආණ්ඩුව නියම කරන මිලටවත් දෙන්නට බැරිව තටමින් සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව ජීඇස්පී එකවත් රැක ගැනීමට නොහැකි වෙළඳ යුද්ධයෙන් පැරදෙමින් සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව 17 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ විධිවිධානයන් පවා ක‍්‍රියාත්මක කර ගත නොහැකි ව අසරණව සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව මැතිවරණයක නීති රිති පමණක් නොව ශිෂ්ඨ තරගයක සියලු ආචාර ධර්මයන් උල්ලංඝනය කරමින් පිස්සු නටමින් සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුවට රට අරාජික කරන බල්ලන් බැඳ තබන්නට නොහැකිව අකර්මණ්‍යව සිටින බව ය.

යුද්ධය දිනූ ආණ්ඩුව මිහින් එයාර් වැනි ආයතනයක්වත් ලාභ ලබන ආයතනයක් ලෙස සංවිධානය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්ව සිටීන බව ය. ඒ මකර කටට රටේ සම්පත් හලමින් සිටින බව ය.

මෙ සියලු තතු කියන්නේ යුද්ධය දිනුවේ ආණ්ඩුවෙ හපන්කමකට වඩා සරත් ෆොන්සේකාගේ (හමුදාවේ) ප‍්‍රබලත්වය නිසා බව ද?

නැතිනම් ඉතිරි සියල්ලෙන් පැරදෙන ආණ්ඩුවක් යුද්ධය පමණක් දිනන්නේ කෙසේ දැයි අප කෙසේ තේරුම් ගත යුතු ද?

ඒ ගැටලුව ආමන්ත‍්‍රණය කර ගැනීමට නොහැකිවීම රජු මුහුණ දෙන වත්මන් අභාග්‍ය යයි.

තමන් දින්නේ යයි කියන එකම දෙයෙහි ද ජයට උරුම කියන්නට හැකියාවක් නොලැබීම කරුමයක්ම නොවන්නේ ද? අභාග්‍යයක්ම නොවන්නේ ද?

තමන්ට ඇති රාජ්‍ය බලය ද මුදල් බලය ද මාධ්‍ය බලය ද ලජ්ජා බයක් නැති කම ද යන සියලු ආයුධ යොදාවත් මේ අභාග්‍යයෙන් ගොඩ ආ හැකි ද යන්න උන්ටම ගැටලුවකි. පිස්සු ඩබල්වෙලා වලං කඩයකට ගොඩ වැදුනු කුලප්පු වූ හරකුන් මෙන් මේ ඊනියා දේශප්‍රේමීන් හැසිරෙන්නේ මේ අවබෝධය නිසා ය. එහෙත් එසේ හැසිරෙන්නට හැසිරෙන්නට උන්ට සිදුවන්නේ බැස ගෙන ඇති මඩ වලේ තව තවත් එරෙන්නට ය.

Posted in: Uncategorized