කැප්පෙටිපොළලාට හා දුටුගැමුණුලාට නිගා දෙන විරුවන්ගේ කෙරුවාව

Posted on December 24, 2009



කැප්පෙට්පොළ සෙනෙවියා තමන් සන්තකයේ තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් අවි ආයුධ කැරැල්ල හා එක්වීමට පෙර උන්ට බාර දුන් බව ඉතිහාසයේ සදහන් ය. කඩුව බිම වැටුනු ප්‍රතිවාදය මරා දමන්නට තිබූ අවසරය භාවිතා නොකළ දුටු ගැමුණු රජු එලාර කඩුව ගන්නා තෙක් සටන් නොකොට කල් යල් යැවූ බවක් ඉතිහාසයේ සදහන් ය.

ඒ ඒ කාලයේ ය. දැන් යුගය වෙනස් ය.

නිරායුධ ප‍්‍රතිවාදීන් තිරිසනුන් ලෙස මරා දැමෙයි. ගුටිබැට දීමෙ සිට ගෙවල් ගිනිතැබීම් දක්වා සංග‍්‍රහ ද සිදුවෙයි.

ඒ විතරක් ද ප්‍රතිවාදියා සටනට කැදවා ඔහු සතු ආයුධ පැහැර ගෙන ඉන්පසු නිරායුධ ප්‍රතිවාදියා පරාජය කොට හිරිකිතයක් නැතිව ජයපැන් ද බොන්නට සැරසෙයි.

මේ ටික ලියන්නට සිදුවුනේ රජයේ මාධ්‍යවල ගුවන් කාලය ද සියලු රජයේ ආයතනවල මුල්‍ය අනුග්‍රහය ද නොමිලේ භාවිතා කරමින් සටන් කරන අතරතුර ප්‍රතිවාදියා මුදල් ගෙවා වෙන්කර ගත් රැස්වීම් ශාලා ද බලය යොදවා උන්ට අහිමි කරමින් සිටින අපේ යුගයේ වීරයින් ගැන ඇතිවුන ජුගුප්සාව නිසා ය.

ඊට අමතරව ප‍්‍රතිවාදියාගේ මැතිවරණ කාර්යාල ගිනි තබමින්, ප‍්‍රතිවාදියාගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් බියවද්දමින්, උන්ට පහර දෙමින්, ඉනුත් නොනැවතී උන්ගේ ප‍්‍රචාරක රැස්වීම්වලට ගොස් ආපසු යන සෙනගට ද මග රැක පහර දෙන තරමට පිරිහුනු අපේ යුගයේ දේශපේ‍්‍රමීන්ගේ හා වීරයින්ගේ ජඩ වැඩ නිසා ය.

උන් පෙනී ඉන්නේ රටේ දේශපේ‍්‍රමී උරුමය වෙනුවෙන් වුව ද කරන්නේ හාල් පාරුවන් වත් නොකරන වැඩ ය.

ලජ්ජා නැති සටනක් කරන්නේ ඒ නිසා ය. ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී බලය තමන්ට රුචි අයුරින් භාවිතා කරමින් මේ කරන විලි ලජ්ජා නැති වැඩය නිසා මුන්ට චන්දය දෙන්නට ඉන්න උන් පවා උන්ට ආත්ම ගෞරවයක් ඇතිනම් චන්දය දෙන්නේ නැත.

එහෙම ආත්ම ගරුත්වයක් බොහෝ දෙනෙකුට ඉතිරිව තිබෙ ද? ඒ බව දැනගත හැක්කේ ජනවාරි 27 දා ය.

Posted in: Uncategorized