අපට චන්දය දෙන උඹලා ….

Posted on December 22, 2009



උඹලා ගොනුන් ය.

මර්වින් සිල්වාගේ සියලු මැරකම් ඉවසා ඒවා ඉවසා වදාරණ අපටම චන්දය දීමෙන් උඹලා අපට දන්වා සිටියේ අපේ මුග්ධකම ඉවසන උඹලාගේ ගොන්කම පිළිබඳව ය.

උඹලා තිරිසනුන්ය.

ලසන්ත වික‍්‍රමතුංග උපාලි තෙන්නකෝන් වැනි උඹලා වෙනුවෙන් හඩක් නැගූ පත්තර කාරයින් මරා ගසා මාධ්‍යයේ නිදහස විනාශ කළ අපටම චන්දය දෙමින් අප පත්කිරීමෙන් උඹලා පෙන්නා ඇත්තේ උඹලා මිනිසත් බවටත් නොහොබිනා තිරිසනුන් බව ය.

උඹලා ලෝභය. මසුරු ය. කෑදර ය.

අල්ලස දූෂණය නරක බව දැන දැනම අපේ දන්සල් වන්දනා කිරීමෙන් උඹලා පෙන්නා ඇත්තේ කන්න දෙනවනම් බොන්න දෙනව නම් වෙන මොන කෙංගෙඩියක් තව ඔනෑ ද කියන දර්ශනයෙන් ජීවත්වන උඹලාගේ බඩ ජහරි කම ය.

උඹලා ජඩ ය.

උඹලාගේම අල්ලපු ගෙදර ඉන්න දෙමළා තලා පෙලා ඌට හිරිහැර කොට උගේ අයිතීන් උදුරාගෙන උගේ බිමෙ ඌ හිරකාරයින් කළ අපට දිගින් දිගට චන්දය දීමෙන් ඔප්පු කර සිටියේ උඹලාගේ ඒ ජඩකම ය.

උඹලා අන්ධය.

ඇමතිමණ්ඩලය ඉහවහා යද්දී උන් හතරවරං කෙලිද්දී ඒ සියල්ල දැන ඉවසා වදාරා අපට ම චන්දය දෙන උඹලා පෙන්වා සිටින්නේ උඹලා අන්ධ බව ය.

උඹලා බිහිරි ය.

දිනෙන් දින උසුලාගත නොහැකි බඩුමිල නිසා කන්නේ නැතිව හූල්ලන්නට සිදුව ඇති පීඩිත ජනයාගේ කෙඳිරිය වත් ඇහෙන්නේ නැතිව උන්ට කෙළවන අපටම චන්දය දෙන උඹලා බිහිරි ය.

උඹලා වංචනික ය

මත්පැන් යහමින් බොමින් මත්පැන් සල් විවෘත කරමින් මතෙන්ම යැපෙන පාලකයින් මූණිච්චාවට මතට තිත තියන්නට ඉදිරිපත්වන බව දැන දැනම මෙ නම් අපේ දිවයිනට පහළ වූ වාසනාවකැයි තමන්ම රවටා ගෙන ජීවත්වෙන උඹලා වංචනික ය.

උඹලා බබ්බු ය.

උපන්දිනයකට සුභ පෑතු පමණින් දරුවෙකුගේ කම්මුල මිරිකූ පමණින් මිනිසුන් බදා ගත් පමණින් සංවෙදී නායකයෙකුයැයි කියා උඹලා පෙන්වන ලාමක ගතියෙන් උඹලා ඔප්පු කර සිටින්නේ උඹලා දෙකට ගනින්නටවත් හරි හැටි දන්නේ නැති බබාලා බව ය.

උඹලා කවුදැයි ඔප්පු කර පෙන්වන චන්දය හෙට අනිද්දා නැවතත් එන්නේ ය. ඒකෙදීත් අපටම චන්දය දීමෙන් තව දුරටත් උඹලාගේ සැබෑ තත්වය කුමක්දැයි පෙන්වා සිටීමට උඹලාට හැකි ය.

තොපිට තලන්න කෙවිටක් ඇතැතිව කටේ ගහන්න සූප්පුවකුත් එක්ක 27 පෙනී සිටින්නම්. එදායින් පස්සෙ උඹලට තියෙන්නෙ පටි බැදගෙන නින්දා ඉවසගෙන උගස්කරපු රටක ජීවත්වෙන එකයි.

උඹලාට සුභ අනාගතයක්!

Advertisements
Posted in: Uncategorized