මාතෘකාව – ජනාධිපතිවරණය ; තහනම් වචනය – සරත් ෆොන්සේකා!

Posted on December 18, 2009



ඉස්සර මාධ්‍යවල ප්‍රචාරය වූ සුවිශේෂී වැඩසටහනක් තිබිණි. ඒ තහනම් වචනයක් භාවිතා නොකර කිසියම් දෙයක් ගැන කතා කිරීම ය. තහනම් වචනය බොහෝවිට එම මාතෘකාවට දැඩිව සම්බන්ධ එකකි. ඒ නිසාම ඒ ගැන කතා නොකර මාතෘකාව ගැන කතා කිරීමම අභියෝගයකි.

එවැනි තරග සංවිධානය කොට අපට එසේ අභියෝග කළ මාධ්‍යවේදීන්ට දැන් ඒ අභියෝගයට දෛනික ජීවිතයේ මුහුණ දීමට සිදුව තිබේ. ඒ රාජ්‍ය මාධ්‍යවල සිටින්නන්ට ය. පෙනී යන විදිහට ඒ කටයුත්ත කිරීමට ආණ්ඩුවේ දේශපාලනඥයින්ට ද සිදුව ඇති බව ඊයේ රජයේ මාධ්‍ය කීපයකට සවන් දීමේ දි දැක ගන්නට ලැබිණ.

ඇත්තටම ඒ නම භයානක එකකි. එය මීට ඉහත භයානක වූයේ එල්ටීටීයට ය. දැන් එය ආණ්ඩුවට ය.

ඇත්තටම එය ඇහෙන කොටත් කකුල් පණ නැතිවන ඇගම සීතල කර වෙ‍ව්ලවන නපුරු නමකි.

ඒ නිසා අභියෝගයක් හෝ තරගයක් නැතිව වුව ද එය අමතක කර දිවි‍ ගෙවන්නට වීමම සතුටට කරුණකි. ඒ නිසාම කට්ටිය සතුටින්ම මාතෘකාව තහනම් වචනය තරගයට ඇතුළුවී ඇතැයි අපට සිතේ.

පැය දෙකහමාරක ජනපතිවරණ නාමයෝජනා විස්තර ප්‍රකාශයක දී එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වචනයක් භාවිතා නොකර එය සම්පූර්ණ කිරීමෙන් රාජ්‍ය මාධ්‍ය විසින් තබා ඇති වාර්ථාව අතිශය දියුණු ය. ඇත්තටම මාතෘකාව තහනම් වචනය තරගයකදී විනාඩි දෙකක් කතා කිරීම ජයග්‍රහණය සදහා සෑහේ යයි නිර්ණය කර ඇත්තේ අභියෝගය එතරම් අමාරු නිසා ය. එහෙව් තරගයක් පැය දෙක හමාරක් ඇද ගන යාමට කෙතරම් දක්ෂතාවයක් තිබිය යුතු ද?

මෙය නම් ගිනස් පොතටම යන වාර්ථාවකි.

අපට මතක් වන්නේ හීන්සැරය කතාවේ එන අලියා ය. කටුස්සාගේ නම් මතක් කළ සැනින්අලි රාලහාමි පරල වෙයි. හූ හඩ තියයි. ගස් පෙරලයි. කැරකෙයි. අවසානයේ කැලය පෙරලා ගෙන දුවයි.

සරත් ෆොන්සේකා යන නම සදහන් වන විටද ඇත්තේ එවැනිම තත්වයකි. එ නම තහනම් කරන්නට ඇත්තේ ඒ නිසාම විය යුතු ය. තරගය එතරම් පහසු වීම ඒ අනුව අරුමයක් ද‍ නොවේ.

මාධ්‍යය මුහුණ දෙන තරගය පහසු වුවද මාතෘකාවෙ සඳහන් තරගය නම් ඒ තරමට පහසු වන එකක් නැතැයි මෙ සිදුවෙමින් තිබෙන වැඩවලින්ම පෙනේ.

Advertisements
Posted in: Uncategorized