ඉදිරිය කෙසේ වනු ඇති ද? ජනවාරි 26 තීරණාත්මක වූවත් රටේ ඉරණම එදා විසදෙන්නේ නැත!

Posted on December 15, 2009



කුට්ටම තියෙන්නේ අනලා ය. නැත්නම් ඇනිලා ය.

කොළයක් හාරත ද ස්කෝප්ප ද කියා තෝරාගත නොහැකි තරමට පාට ද හැඩය ද කළවම් වෙලා ය.

තුරුම්පු මොකක්ද නිකම් කොළේ මොකක්ද කියා මතක තියා ගන්නට බැරි ය.

අද අපේ තුරුම්පුව හෙට අනෙකාගේ තුරුම්පුව වෙන තරමට අත් මාරුවෙලා ය.

ඉරවල් මැකිලා ය. මායිම් කඩා වැටිලා ය. සීමා බොඳ වෙලා ය.

එකක් පමණක් හැම තැනම තියෙද්දී ඉතිරි සියල්ල අල වෙලා ය.

ඉතිරිව ඇති එකම දේ වරෙක පැටව් ගසයි. ලයිට් කණු අසල ද තාප්ප පුරා ද අහසේ ද ගුණාකාරව වර්ධනය වෙමින් පෙනී සිටියි. වරෙක උස්වෙමින් දැවැන්ත ප‍්‍රතිරූපයක් මව යි. තවත් විටෙක ලං වී මුහුණට මුහුණ සිට ගනී.

විටෙක ආදරයෙන් අපේ ඔලුව අතගායි. බදාගෙන තොත්තු ද දෙයි. දෙඅතින් අප වඩා ගනී. සමහරවිට ඔඩොක්කුවටත් ගනී.

තවත් විටක විරවා අඩි හප්පා පළාතම දෙවනත් කර බිය වද්දයි.

ඔලු දෙකකින් එකක් සෞම්‍ය ය. කරුණාවන්ත ය. ආදර බර ය. අනෙක රුදුරු ය. බිය ජනක ය. අප්පිරියා සහගත ය.

එකක් එලිය තියෙන වෙලාවෙ එලිපිට ය. අනෙක රාත‍්‍රියේ කළුවර තුළ සැගවී ගෙන ය.

දෙකම එකකි. ඒ එකම එක් කෙනෙක්ගේ ය.

අපේ කරුමය ද අපේ සැපත ද ඇත්තේ එතැන ය. සියලු දෙයෙහි උල්පත ද අවසානය ද එතැන ය.

වෙන කිසිවක් එයින් බාහිරව පවතින්නේ නැත. පවතිනවා නම් ඒ සමග කරන ගනුදෙනුවක ය.

ඇහුවොත් ඇසෙන්නේ ඒ හඩ ය. සමහරවිට කට වෙනස්වුව ද හඩ නම් එකම ය.

දැක්කොත් දකින්නේ ඒ රූපය ය. මුහුණ වෙනස් විය හැකි වුව ද එය එකම තැනැත්තාගේ ය.

සදාචාරය ද එහි විරෝධය වූ දුරාචාරය ද ඇත්තේ එහි ය.

මේ කියන්නේ මොකක් ගැන ද?

ශ‍්‍රී ලංකාව නම් අපූරු රටේ දකුණේ වත්මන් දේශපාලනය ගැන ය.

ඒ දේශපාලනය තුළ ඉඩ ඇත්තේ එක් අයෙකුට පමණ ය. ඒ නිසා ම ඊට සමාන යයි සැක කරන චරිතයක් අන්දවා එලියට ගැනීමට සිදුව ඇත. එහෙත් ඊට පවා එලියට එන්නට ඉඩක් ලැබෙන පාටක් පේන්නට නැත. සියලු බලය යොදා එය පාගා දමන්නට සියලු සටකපට කම් යොදා එය මෙල්ල කර ගන්නට සියලු චාටුභාවිතා කර එය දියකර හරින්නට දකුණ පෙළ ගැසී සිටී.

දෙමළ ජනතාව මේ දෙස බලන්නේ කෙසේ ද?

ඒ ගැන වැටහීමක් අපට නැතත් එම දේශපාලනයේ එළඹීමට නියමිත තීරණාත්මක මංසන්ධිය වන ඉදිරි ජනපතිවරණය දෙස දෙමළ ජනතාව බලන්නේ සිංහලයන්ගේ යුද වීරයා කවුදැයි තේරීමේ සටනක් ලෙස ය.

එයින් පෙනෙන්නේ අපට එක් රටක් වීමට තව බොහෝ දුර යා යුතු බව ය. ජනවාරි 26 තීරණාත්මක වූවත් රටේ ඉරණම එදා විසදෙන එකක් නොවනු ඇත් ද?

Posted in: Uncategorized