ලජ්ජා නැතිකම ලොකුයි කීවේ මොකකට වඩා ද?

Posted on December 13, 2009



දන්සැලකින් කන්නට ලැබීම මේ කාලයේ හැටියට ලොකු වාසනාවකි. එසේ මෙසේ එකක් නොව රජගෙදර තියෙන දන්සැලක් නම් වාසනාව කියලා නිම කරන්නට බැරි ය. වෙන දන්සල මෙන් නොව (මතට තිත පැත්තකින් තබා) බොන්නත් දී සළකනවා නම් එය තවත් අගේ ය.

මේ සියල්ල සම්පූර්ණ වූ දන්සැලකට ආරාධනාවක් ලැබුනේ රජතුමාගෙන් වුවද එය ආරාධනාවකට වඩා අනිවාර්යයෙන් සහභාගිවිය යුතු නියෝගයක් බවට පසුව පත් කර තිබුනේ රජතුමාගේ බත් බැලයකු විසිනි.

ආරාධනාව තිබුනේ රේගු නිලධාරීන්ට ය. එය අනඥාවක් බවට පත් කර තිබුනේ රේගුවේ ලොක්කකු විසිනි. බත් බැලයකැයි අප කීවේ ඔහුට ය.

ඉබ්බා දියේ දැම්මා සේ යන්නට තිබුනු මේ ගමන ගැන දෙගිඩියාවක් රේගු නිලධාරීන්ට ඇති කළේ රේගු නිලධාරී සංගමයයි.

රජතුමා දෙන්නේ නම් ඕනෑම ජරාවක් රසකර වළදන්නට සූදානම් කාලයක එය එපා යයි කියා ප්‍රතික්ෂේප කළ රේගු නිලධාරී සංගමය තම නිලධාරීන්ට එයට සහභාගි නොවන ලෙස කටවචනයෙන් දන්වා එයිනුත් නොනැවතී මැතිවරණ කොමසාරිස්ට ‍ද මේ පිළිබදව ලිඛිතව පැමිණිලි කිරීමට ද ඉදිරිපත් විය.

මේ දවස්වල දහසකුත් එකක් රාජකාරීවැඩ නිසා ‍රටේ තොටේ මෙන්ම රජගෙදර වුවද සිදුවන්නේ කුමක් දැයි නොදැන සිටි මැතිවරණ කොමසාරිස්ට තරු විසිවුනේ මේ පැමිණිල්ල දැකලා ය.

ජනපතිවරණය අබියස මෙසේ ආණ්ඩුවේ මුදලින් කන්නට දෙන එක නීතිවිරෝධි බව මැතිවරණ කොමසාරිස් රජතුමාට දැන්වූයේ ඒ නිසා ය. ඇත්තටම රජතුමා මේ බවක් දැන සිට නැත. ඇත්තටම රටේ නීතිරීති ගැන අපගේ රජතුමාගේ දැනුම අල්පය.

අධ්‍යාපන පරිපාලන සේවයේ අවර ගණයේ නිලධාරීන් කැළ පමණක් නොව සංවේදී (සංවේදී මොකකට දැයි අප හරියටම දන්නේ නැත) කලාකාරයින් ද රසකර කර වැළදු රාජ භෝජනය ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී එහි නීත්‍යානුකූල භාවය ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වීමෙන් රේගු නිලධාරී සංගමය රටටම ආදර්ශයක් පෙන්වා ඇත.

ලජ්ජා තිබේ නම් මින්පසු දන්සැල් දෙන එකක් නැත. එහෙම එකක් තිබෙනවා දැයි හෙට අනිද්දා වෙන කොට දැන ගත හැකි ය. පොලිස් ස්ථානාධිපතිවරු 3000ට ද නීතිඥයින් 4000ට ද ඉදිරියට ආරාධනා යවා ඇති නිසා ය.

ඇත්තටම ලජ්ජා නැති කම ලොකුයි කීවේ මොකකට වඩා ද?

Posted in: Uncategorized