කොටකදෙනියට බූට් එක!

Posted on December 11, 2009



කොටකදෙනිය කියන පරිදි හෙතෙම පොලිස්පති වීමට පවා සිටි කෙනෙකි. එහෙත් ඉරණම මෙන්ම චන්ද්‍රිකා ද හරස්වීමෙන් ඒ තනතුර  ඔහුට නොලැබී ගියේ ය.

කොටකදෙනිය මන්ත්‍රීකමක් දරන්නට පුලුවන් කෙනෙකි. එහෙත් හාමුදුරුවන්ටත් බෙන්ස් රථ ඕනෑ වූ නිසා ඒ පුලුවන්කමත් සග සතු කිරීමට ඔහුට සිදුවිය.

ඉතින් ඔහු පළාත් සභාව තෝරාගත්තේ පක්ෂයේ ද ඉල්ලීම පරිදි ය. කියන විදිහට ඔහු ටික කාලයකට විශාල වැඩ කොටසක් ද කර ඇත්තේ ලු. ඒ ගම්පහින් තරග කරලා ලද පත්වීමෙන් ය.

ඉදිරියේ එන මහමැතිවරණයට ගම්පහින් තරග කරන්නට රතන හිමියන්ට ඕනෑ වී තිබේ. ඒ සමහරවිට කොටකදෙනිය කළ වැඩවල ක්‍රෙඩිට් එක ද සමග පාර්ලිමේන්තුවට වැඩම කරන බලාපොරොත්තුවෙන් විය හැකි ය.

යුද්ධය ඉවරවුනහම ආරණ්‍ය වාසී වෙන බව තම දායකකාරකාදීන්ට මහත් ආඩම්බර කියූ රතන හිමියන්ට පාර්ලිමේන්තු යාමට ඕනැකමක් ඇතිව ඇත්තේ මන්දැයි අපට හරියටම නොවැ‍ටහෙතත් එයින් තමන්ගේ සටන් සගයාට වන අඩුපාඩුව ගැන රතන හිමියන් සංවේදී නොවෙතැයි හිතන එක ටිකක් අමාරු ය.

තමන් ඇරුණවිට වෙනත් ගිහියකු හෙල උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නොආ යුතු යැයි චම්පික රණවකට හිතුනා වන්නට පුලුවන. රතන හිමියන් නිහඩව ඉවසන්නේ ඒ ඉල්ලීම විය හැකි ය. ආරණ්‍යයකට යෑමේ සිහිනයට ද පයින් ගසා පාර්ලිමේන්තු යන්නට රතන හිමියන්ට සිදුවන්නේ පක්ෂයේ තීරණය නිසා යයි සිතීම තරමක් හෝ තාර්කික ය.

කොටකදෙනිය මහතා කියන්නේ පක්ෂය තමන්ට කරන මේ සැළකීම දරාගත නොහැකි බව ය. හෙළ උරුමය මැදින් ද බෙදුම් රේඛාවක් ඇතිවී දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් නැවතත් වෙන්වීමේ ඉඩක් මතුව තිබේ. නැත්නම් නන්දන ගුණතිලක කෙනෙක් බිහිවීමේ ඉඩක් ද තිබේ (නන්දන ගුණතිලකා බිහිවීම ද අලුත් දේශපාලන ප්‍රවණතාවයකි).

ඒ කොහොම වුනත් මෙයත් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් බවට නම් අපට සැකයක් නැත්තේ ය.

Posted in: Uncategorized