ටැබූ කියනා ලෙසට 56 දරුවන් එලෙස පරාජය බාර අරගෙන පසුබසින්නේ නැත

Posted on December 10, 2009



එස්බී ගියේ ශ‍්‍රීලනිපයේ බලය අල්ලන්න. එහෙම කියන්නේ ඩබ්ලිව් ත‍්‍රී ලංකා W3Lanka බ්ලොග් අඩවියයි. ඒ සියරට පුවත්පත උපුටා දක්වමිනි. ඒ අනුව එස්බී පැත්ත මාරු කළ ද ජනාධිපති සිහිනය අතහැර දමා නැත.

එස්බී ගියේ තමන්ගේ ජනාධිපති සිහිනය අත්හැර දමා බව කියන්නේ ටැබූ ය. ඔහුට අනුව කවදාවත් ජනාධිපති තනතුරක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි ශ‍්‍රීලනිපයට (පක්ෂය රාජපක්ෂ පවුලට නතුව ඇති නිසා) එස්බී ගියේ එජාපය තුළ ද ඊට ඉඩක් නැති බව දැන ය. ඒ අපේක්ෂා අත් ඇරලා ය. ඔහු කියන පරිදි 56 දරුවන්ට ඔය ඉහළ තනතුරු දෙන්නට තවමත් කොළඹ එලිට් පන්තිය හා ප‍්‍රාදේශීය රදළයින්ගේ කැමැත්තක් නැත.

තවත් කෙනෙක් කීවේ එස්බී ගියේ විශාල අල්ලසක් ලබා ගෙන බව ය. ඒ නිසා ඇමති පදවියක්වත් උන්නැහේ දැම්ම බලාපොරොත්තු වන එකක් නැත. ඇමති පදවි සංඛ්‍යාව 110 ක්දක්වා ඉහළ යනු ඇතැයි සිතා එය උපයෝගී කරගෙන ආණ්ඩුවට නැවත වතාවක් කොචොක් කිරීමේ විපක්ෂයේ බලාපොරොත්තුව ද ඒ අනුව සිහිනයක්ම වනු ඇත.

ඇත්තටම එස්බී ගියේ ඇයි ද යන්න දන්නේ එස් බී පමණකි.

අප හිතා හිටියේ අලියා ලකුණෙන් මෙතෙක් තරග කළ එජාපය එය අතැරිය එකේ කණගාටුවට එස්බී හිතේ අමාරුවෙන් ශ‍්‍රීලනිපයට යන්න ඇතැයි කියා ය. ඒ ගැන ඔහු මහත් වේගවත් කතාවක් පවා කර තිබිණි.

ඇත්තටම තමන්ට හිරෙ යන්නට පාර පෙන්වූ එම හිරයෙන් තමන් ගලවා ගන්නට අබමල් රෙණුවක වැඩක් නොකළ එජනිස හා එහි නායකයින්ට කඹුරන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේ අලියා ලකුණ ගැන හිතේ අමාරුවෙන් නම් විය නොහැකි යයි කීවේ මා කියන දෙයට හැමදාම වෙනස් මතයක් දැරීමට කැමැත්තෙන් ඉන්නා මගේ බිරින්දෑ ය.

සමහරවිට ගිය හේතුව එස්බී වත් නොදන්නවා වන්නට ද පුලුවන. එස්බීගේ ගෝලබාලයින්ගෙන් කෙසේ වෙතත් මායියාගෙන්වත් අසා බැලුවොත් මොක ද?

කවුද දන්නෙ තමන්ගේ දෑත් දෙපා මේ දිනවල වෙවුලන නිසා ඇවිත් ඒවා ශක්තිමත් කර දෙන ලෙස මහින්ද ඉල්ලුවා වන්නට ද ඉඩ තිබේ. ගෙදරටම ඇවිත් පැරණි මිත‍්‍රයෙක් එවැනි ඉල්ලීමක් කරද්දී අහක බලන්නේ කවුද?

ඇත්තටම එස් බී හිටියේ එජාපයේ ද? එහෙම නැතිනම් ශාරීරිකව එජාපයේ හිටියත් හදවතින් සිටියේ එජානිසයේ ද? එස්බී ගැන කට කතා පැතිරෙන්නට පටන් ගත්තේ සරත් ආගමනයටත් පෙර සිට ය.

මර්වින්ට මෙන්ම ප‍්‍රවෘත්ති මැවිමේ දොළ දුකක් එස්බීට ද ඇත. එය 56 දරුවන්ට ඇති දොළදුකක් දැයි ටැබූගෙන් අසා දැන ගත යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණයට පාඩම් උගන්නන්නට ගොස් එස්බී ඇන ගත්තේද ඒ වුවමනාව නිසා බව මට හැගෙන දෙයයි.

අනුන් යොජනා කරන්නට කලින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ස්වයං පත්වීමක් ඔහු ලබා සිටියේ ද ඒ අනුව ය. ඒ මහින්ද පරාජය කළ යුතුය යන දැඩිඅධිෂ්ඨානයෙන් ය (එසේ නොව තමන් දිනිය යුතුය යන අධිෂ්ඨානයෙන් යැයි සමහරු අවලම් කතා කියන්නට පුලුවන). ඒ අධිෂ්ඨානය හිරු දුටු කදෝපැණියක් මෙන් දියව ගියේ කෙසේ ද?

මට නම් හිතෙන්නේ එස් බී කියවීමට අලුතින් දේශපාලනය ඉගෙන ගත යුතු බව ය. 56 දරුවන් ටැබූ කියනා ලෙසට පරාජය බාර අරගෙන පසුබසින්නේ නැත. උන්ගේ අනා ගැනීම්වල ඉවරයකුත් නැත.

එකක් නම් පැහැදිලි ය. ගිනි කෙළි ඉස්සරහට ය!

Posted in: Uncategorized