දේශප්‍රේමය විකිණෙන්නේ ඉහළ මිල ගණන් වලට ය!

Posted on December 9, 2009



කතරගම යන කෙනෙකුට එක්කෝ හින්දු දේවාලය වැද පුදාගෙන පසුව කිරිවෙහෙරට යාමට පුලුවන. නැත්නම් කිරිවෙහෙර වැද පුදාගෙන දේවාලයට දෙවනුව යා හැකි ය. මෙහෙම විකල්ප මාර්ග දෙකක් ඇත්තේ බෞද්ධ සැදැහැවතුන්ට ය.

දෙවියන්ගෙන් වැඩක් ගැනීමට පැමිණෙන බෞද්ධ සැදැහැවතුන් අතරේ දෙපිරිසක් සිටිති.

එක් කට්ටියක් දෙවියන් බැහැ දකින්නට පැමිණිය ද ඒ කර්තව්‍යය තුළ තමන් අදහන බුදුදහම කෙළෙසෙතැයි යන සැකය ඇත්තෝ ය. අනිත් කොටස ඒ විලිලජ්ජාව නැතිව තමන්ගේ වැඩය කරගන්නට පැමිණෙන ප්‍රායෝගික බුද්ධාගම් කාරයින් ය.

පළමුව කී පිරිස දෙවැනි කී පිරිසට වඩා බෞද්ධ ය. නැතිනම් දේශප්‍රේමී ය. තමන් කරන්නාවූ දේව වන්දනාවෙන් තමන් අදහන බුදුදහමට තමන් පිටුපාන්නේ ද යන්න ගැන විචිකිඡ්චාවක් ඔවුන් තුළ ඇත්තේ එබැවින් විය යුතු ය.

පළමු කී පිරිස කෝකටත් කිරිවෙහෙර වැද ගෙනම දෙවාලයට එන්නේ ඒ නිසා ය.

කිරිවෙහෙර දොරකඩ රතු ඕලු මලක් රු 12.50 ක් වනවිට දේවාල දොරකඩ එය විකිණෙන්නේ රු 5 ටය.

අමතර රු 7.50 දේශප්‍රේමය වෙනුවෙන් ගෙවීමට ඇති දඩයකි. වෙළෙන්දන් තරම් දේශප්‍රේමය විකිණෙන හැටි දන්නා වෙනත් පිරිසක් ඇත්නම් ඒ දේශපාලනඥයින් ය.

වත්මන් අර්බුදය ඇත්තේ තනි බුත්තියට සවි කර තිබූ දේශප්‍රේමය බෙදා වෙන්වීම තුළ ය. ඒ නිසා සුපිරි දඩයක් ගැසීමේ ඉඩකඩ ඉන් අහෝසිව තිබේ.

නැත්නම් මලේ මිලේ වෙනස රටේ දේශපාලනය තුළ ඡන්ද ප්‍රතිශතයක් ලෙස ප්‍රදර්ශනය වෙනු බලා ගන්නට ඉඩ තිබිණි. පහු ගිය මැතිවරණ කීපයේ දී වූයේ එයයි. දැන් කට්ටිය මුඛ පුට්ටු කරගෙන තුෂ්නිම්භූතව සිටින්නේ එය ඒ ලෙසම මෙය තුළත් ප්‍රදර්ශනය නොවේ ද යන සැකය නිසා ය.

තරගකාරී මල් වෙළෙන්දෙක් වෙළද පොළ ආක්‍රමණය කර තිබේ. දේශප්‍රේමී මල් තවදුරටත් වැඩි මිලකට විකුණනු බැරි ද? වෙළෙන්දන් කතා කරමින් සිටින්නේ ඒ ගැන ය.

Posted in: Uncategorized