ශ‍්‍රී ලාංකික ලී ක්වාන් යූගේ ආගමනය – සරත් ගැන අපේ මතය

Posted on December 6, 2009



ශ‍්‍රී ලංකාවේ දේශපාලන අවකාශයට මේ අවතීර්ණ වන්නට යන්නේ ශ‍්‍රී ලංකාව කලකට සිට සොයමින් සිටි ලී ක්වාන්යූ ද?

පිරිසිදු ආඥාදායකයා ද? සානුකම්පිත ඒකාධිපතියා ද?

තමන් යටතට ගත් කාර්යය නොපිරිහෙලා ඉටු කළ ඉතිහාසයක් ඔහුට තිබේ.

ඔහු අභියෝග කරන්නේ දූෂණයේ හා භීෂණයේ නියෝජිතයින්ට ය.

ඔහු යුද්ධ කළ බව ඇත්ත ය. යුද්ධයේ දී භීෂණය මුදාහළ බව ද ඇත්ත ය. ඔහු කරමින් සිටියේ රාජකාරියකි. ඒ නිසා මුදාහළ භීෂණයේ ඔහු වගඋත්තර කරුවෙකු වන්නේ අනියමිනි.

එහෙත් සමහරු කියන්නේ රාජකාරියෙන් පිට පැන ඔහු එවකට ද දේශපාලනයේ නියැලුණු බව ය. එය ද ඇත්ත ය. ඔහු සේනාධිනායකයා හැටියට කළ ප්‍රකාශ ඇතැම්විට දේශපාලන ඒවා වූයේ ය. ඒ නිසාම භීෂ‍ණයේ වගකීමෙන් ඔහුට මිදිය හැකි ද?

එසේ වුවද ඔහු දේශපාලනයට එන්නේ ගාම්භීර බල පරාක‍්‍රමයක් සහිතව නොවේ. තටු කපා දමන ලද පීඩාවට පත් කරන ලද දුර්වල කරන ලද එකකු ලෙස ය.

ඒ පාඩමම ඔහුට පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය පරිචය ලබා දෙනු ඇත් ද?

සරත් එක් වකවානුවක බලය හා ජය විසින් ඉහළට ඔසවා ලැබූවාවූ ද ඊළග වකවානුවෙ අහිමි කරන ලද බලය විසින් මහමගටම ඇද දැමුවා වූ ද කෙනෙකි.

ඒ අත්දැකීම සරත්ගේ චරිතය නව ආරකින් ගොඩ නගා ද?

මෙ සියල්ල උත්තර නැති ප‍්‍රශ්න ය.

ඔහු ඉටුකරාවිද නොකරාවිද යන්න තවම නිශ්චය නැති මුත් ඔහු අතිවිශාල පිරිසකගේ බලාපොරොත්තුව වී ඇති බවට නම් සැකයක් නැත්තේම ය.

එහෙත් ‍රටේ ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැර කර ඇති දෙමළ ජන සිතුම් පැතුම් අභිලාෂයන් ඉටු කරලීමේ ලා ඔහු හපන් කමක් දක්වනු ඇත් ද? ඔහුගේ අතීතය තුළ නම් ඊට උත්තර ද නැත.

පුද්ගලයින් අවැදගත් යයි අපි නොකියමු. එහෙත් ඊටත් වැඩියෙන් තීරණාත්මක වන්නේ ඔවුන් නියෝජනය කරන්නාවූ බලවේග ය. ඒ බලවේග කුමන සරත් කෙනෙක් නිර්මාණය කිරීමට සමත් වෙත් දැයි අපි නොදනිමු.

අනාගතය කියන්නට තවම කල් මදි ය. අපිදු ඉවසිල්ලෙන් බලා සිටිමු.

එසේ වුවද අපි එකක් පමණක් හගිමු. රට මීට වඩා නරක් කරන්නට සරත්ට පහසුවෙන් නම් බැරි විය හැකි බව ය. ඒ මීටත් වඩා නරක් කරන්නට දෙයක් නැති කම නිසා පමණක් නොවේ. සරත්ට මහින්ද සතු දේශපාලන බලය හා ඒ සදහා අවශ්‍ය කපටි ඥානය නැති බවක් පෙනෙන නිසා ය.

Posted in: Uncategorized