එහෙම වුනොත් මළ කෙළියයි නේද?

Posted on December 4, 2009



සැබෑ දේශපේ‍්‍රමියා අදුනාගත හැක්කේ දේශපේ‍්‍රමීන් සමග එක්ව සිටගන්නේ ද දේශද්‍රෝහීන් සමග එක්ව සිටගන්නේ ද යන්න අනුව බව විමල් මෙන්ම මහින්ද ද කියයි.

සරත් ෆොන්සේකා තමන්ගේ කඳවුරෙන් ගිය නිසා ඔහු දේශදෙ‍්‍රාහී වීම ඒ අනුව එන එක් නිගමනයකි.

කඳවුර හැර ගිය තවත් තැනැත්තෙක් වෙයි. ඒ නන්දන ගුණතිලක ය. එහෙත් එතුමා ගියේ විමල්ගේ කඳවුරින් මහින්ද ගේ කඳවුර වෙත ය.

නන්දන අයත් වන්නේ කුමන වර්ගයට ද?

වෙන්නට ඉඩ තිබුණු ගිනිවිජ්ජුම්බරයක් තවත් ඇමති කමක් (109 වෙනි) මවා මහින්ද මග හැර ගත්තේ ය. නැත්නම් වන්නේ නන්දන ගුණතිල‍කගේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක් ඇති කිරීම ය. හැබැයි මුල් ප්‍රශ්නය තවම එසේම ය. නන්දන දේශප්‍රේමී ද දේශද්‍රෝහී ද?

විමල් හා මහින් ද එක්වී අපට විසඳා දිය යුතු ප‍්‍රශ්නය වන්නේ  එයයි.

මෙම නිර්වචනය නිසා නැගෙන ප‍්‍රශ්න එයින් අවසන් නොවෙ.

සරත් නම් දේශපේ‍්‍රමියා සමග මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපේ‍්‍රමී සංවිධානය සමග එක්ව සිට ගැනීමෙන් රනිල් නම් දේශදෙ‍්‍රාහියා දේශපේ‍්‍රමියෙකු වී ද?

ඇත්තටම කරුණා නම් දේශදෙ‍්‍රාහියා මහින්ද සමග එකට හිට ගැනීමෙන් පහු ගිය දා දේශපේ‍්‍රමියෙකු වූ හැටි අපි දුටුවෙමු.

කරුණාට අදාළ දෙය රනිල්ටත් අදාළ ද? කරුණාට වෙනස් විය හැකි නම් රනිල්ට එසේ නොවිය හැක්කේ කුමන තර්ක ඥානයකට අනුකූලව ද?

ඔක්කොම කළවම් වෙලා ය. පිස්සු ඩබල් වෙලා ය.

කප්පරක් ප‍්‍රශ්න ඇති කරන මෙම දේශපේ‍්‍රමී නිර්වචනය යමක් කමක් දන්නා පඩිවරයෙක් විසින් වැඩි දැනුමක් ඉගෙනුමක් නැති අපට මෙන්ම හුදී ජනයාට ද තේරුම් කර දිය යුතු ය.

නැතිනම් මෙම පටලැවිල්ල නිසා ලබන ජනපති වරණයේ දී අප මෙන්ම ජනතාව ද අනාථ වීමට ඉඩ තිබෙ. එයින් වන්නේ ජනතාව විසින් දේශපේ‍්‍රමීන් කියා දේශදෙ‍්‍රාහීන් පත් කරගැනීමට ඉඩ තිබීම ය.

පොඩ්ඩක් කල්පනා කර බලන්න. එහෙම වුනොත් මළ කෙළියයි නේද?

Posted in: Uncategorized