ඇත්තටම මේ අලකලංචියට වගකියන්න ඕනෑ කවුද?

Posted on December 4, 2009



දේශප්‍රේමය හා දේශද්‍රෝහිත්වය අතර ඉර බොදව තිබේ. දේශප්‍රේමයේ වේදිකාව හරි මැදින් දෙකට කැඩී තිබේ.

මේ අලකලංචියට, මේ කලබෑගෑනියට, මේ වියවුලට, මේ මහා ව්‍යාසනයට වගකිව යුත්තේ කවුද?

අංක එකට අපගේ සිහියට එන්නේ රනිල් ය. ඒත් රනිල් නැමැති පොන්නයාට නැතහොත් පෙන්දාට එහෙම යමක් කිරීමේ හැකියාව තිබේ ද? විරුද්ධ කදවුරට පැන එය හරි මැදින් දෙකට කැඩීමට මේ පුගුලාට හැකි ද? එහෙම වික්‍රමයක් ඔහුට කළ හැකි යයි අප ලවා කියවා ගෙන ඌට ලකුණු ටිකක් ලබා දීමට නම් උගේ ගෝල බාලයින් සැදී පැහැදී සිටිනු ඇත. කරුණා කඩා එල්ටීටීය බිද දැමීමේ කටයුත්තේ ක්‍රෙඩිට් එකට එහා ගිය ක්‍රෙඩිට් එකක් මේ මැට්ටාට ලබා දිය හැකි ද? ඒ නම් අපගේ යහපත පිණිස නොවෙයි.

අංක දෙකට සිහියට නැගෙන්නේ රනිල්ගේ හාම්පුතා ය. බටහිර අධිරාජ්‍ය ගැති කදවුර ය. ප්‍රභාකරන් බේරාගැනීමට වත් යමක් කිරීමට අපොහොසත් වූ ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට තිබූ ණය මුදලට පොල්ලක් දා ගැනීමටවත් අසමත් වූ ජී ඇස් පී ගැන නිකම් තර්ජනය කර කර ඉන්නවා මිසක ඒ ගැන කෙළින් යමක් කරන්නට අසමත් වූ වත්මන් ආර්ථික අර්බුදයෙන් පුක බිම ඇන ගෙන ඉන්නාවූ ඉරාකයේත් ඇෆ්ගනිස්ථානයේත් කරවටක් ගිලී ඉන්නාවූත් මේ නඩයට එහෙම ක්‍රෙඩිට් එකක් (අපේ කදවුරට පැන අපව හරි මැදින් බෙදා වෙන්කිරීමේ) අරන් දීම අඩුම තරමින් කිව හොත් ජාතියට කරන්නාවූ ගුණ මකු කමෙකි.

අංක තුනට ඉන්නේ අපේ රජතුමා ය. උන්නැහේගේ වැඩ නිසා මේ වියවුල වුනාවත් ද? කිසිසේත්ම වෙන්නට බැරි ය. දරුවන් නලවන්නාවූත් උන්ට උම්මා දෙන්නාවූත් කාගේවත් උපන් දිනයක් අමතක නොකරන්නාවූත් අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබද සම්මානනීය අතීතයක් ඇති එතුමා මීට වගකිව යුතු යැයි අපට කිව හැක්කේ කුමන කටකින් ද? (හැම මගෝඩියාගේම උපන් දිනය මතක් කර සුභ පතනා රජතුමාට සෙන්පතිතුමාගේ උපන් දිනය මගහැරී ගියාවත් ද? කප්පරක් උපදේශකයින් සිටිද්දී එහෙම සංගෙඩියක් වන්නට ඉඩක් නම් නැත!)

අංක හතරට සිහියට එන්නේ මාධ්‍ය කාරයින් ය. ඇත්තටම නැති විරසකයක් මවන්නේ යැයි මුලින්ම චෝදනා එල්ල වූයේ ද තරවටු එල්ල වූයේ ද උන්ට ය. අනේ අපොයි! හතර හන්දි කඩා තුවාල කර ඇති උන්ටත් යමක් කරත හැකි යයි කීම උන්ට දෙන අනවශ්‍ය නම්බුවකි. ආණ්ඩුවෙන් දෙන ඉඩම් කෑල්ලක් දරුවෙකුට දෙන ශිෂ්‍යත්වයක් හදිසියේ ලැබෙන විස්කි අඩියක් විසිකරන මස්කට්ටටක් ගෙන සැනසී සිටිනවා විනා රටේ ඉතිරිව ඇති මාධ්‍ය කාරයින් බොහෝ ‍දෙනෙකු වෙන කරන කටයුත්තක් නැත. ඒ අහිසංකයින්ට මෙවැනි චෝදනාවක් කිරීම පවා අනෙක් අතට සහගහන අපරාධයකි.

අංක පහට සිහිවන්නේ සරත් ෆොන්සේකාව ය. සෙන්පතිතුමා කේන්දරය බලා රාජ යෝගයක් ඇතැයි සැක හැර දැන එය සාක්ෂාත් කරගන්නට විදිහක් කල්පනා කරාවත් ද? ඒත් එහෙම එකක් තිබුනා නම් කෙළින්ම සේනා මෙහෙයවා රජවාසල වටකරගන්නට පහසුවෙන් පුලුවන් කම තියෙද්දී මෙහෙමත් දුර්ග මාර්ග වල ලෝකයේ දක්ෂම හමුදාව මෙහෙයවූ එතුමා යාවි ද?

එහෙනම් මේ අපරාධයට වගකිව යුත්තේ කවුද?

විස්මයජනක දේ කළ හැකි අද්භූත බලවේගයක් මිස මෙවැන්නක් කිරීමට සමත් කෙනෙක් මේ දියත නැත.

අදහාගත නොහැකි මේ හාස්කම කරන්නට ඇත්තේ රට රකිනා දෙවියන් වත් ද? මට නිකම් කරකැවිල්ල වගේ ය.

දේශප්‍රේමය තක්කඩියාගේ අවසාන රැකවරණ යයි කවුදෝ පඩියෙක් කියා තිබිණි. අපට තිබූ අවසන් රැකවරණයත් උදුරාගත් එකාට නම් හොදක් වෙන්නට එපා ය. එහෙත් සාප කිරීමටත් කළේ කවුදැයි දත යුතු ය. අප‍ගේ කරුමයට ඒ කවුදැයි සිතාගන්නටත් බැරි ය.

Posted in: Uncategorized