ඔරිජිනල් හඩ්ඩා නැත. ඉන්නේ ඩුප්ලිකේට් එ‍කෙකි.

Posted on December 3, 2009



ඊයේ අප පළ කළ බ්ලොග් සටහන් කියවූ ගුවන්විදුලියේ අපේ සගයෙක් නම නොකියන්නැයි කියා රහසක් කීවේ ය. ඒ හඩ්ඩා ඇත්තටම දණ ගාගෙන ගොස් නැවත නොඑන්නෙමැයි සපථ කොට ගුවන් විදුලියෙන් සමුගත් බව ය.

ඒ බව දුටු අය සිටිත්දැයි අප ඇසූ කල ඔහු කීවේ මහ රෑ කවරෙකුත් නැති වෙලාවේ මෙය සිදුවී ඇති බව ය. ඒ නිසා නිකරුණේ හඩ්ඩාව පතුරු ගැසීමෙන් වළකින්නැයි ඔහු අපගෙන් ඉල්ලී ය.

හොදයි එහෙනම් උදේ පාන්දර හඩ්ඩා වගේ කටහඩකින් හඩ්ඩා ලෙස තමන්වම අදුන්වා දෙමින් කතා කරන්නේ කවරෙක්දැයි අපි ඔහුගෙන් ඇසීමු. ඔහු කීවේ ඇග කිළිපොලන කතාවකි. ඒ ඉන්නේ ඩුප්ලිකේට් හඩ්ඩා කෙනෙකි.

ඇත්ත හඩ්ඩා ආගිය අතක් නැත.

අපට මතක් වූයේ මීට සමාන කතාවක් අප ජේ ආර් ගැන ද අසා තිබූ බව ය. ඒ කතාවෙන් කියවුනේ ඉන්දියාවෙන් පරිප්පු දමන විට ඊට බියේ සැගවෙන්නට ගිය ජේආර් අල්ලා සගවා ජේආර් වගේ පෙනුම තියෙන කෙනෙක් ජේ ආර් වෙනුවට ඉදිරිපත් කළ බව ය. ඉන්දියාව සමග ගිවිසුම අත්සන් කළේ ද 13 සංශෝධනය ගෙනාවේ ද ඇත්ත ජේආර් නොවේ බොරු ‍ජේආර් ය.

මේ දවස්වල ඊට සමාන කතාවක් මහින්ද ගැන ද ප්‍රචාරය වෙයි. දැන් ඉන්නේ යුද්ධ කළ ජෙනරාල්ගේ අතිජාත මිත්‍රයෙක් වූ ඔරිජිනල් මහින්ද නොවේ. එතුමා එල්ටීටීය විසින් කිඩ්නැප් කර ඒ වෙනුවට වෙන කෙනෙකු ආදේශ කර තිබේ. ඔරිජිනල් මහින්ද දෙමළ නොදන්නා වුවද ඩුප්ලිකේට් මහින්ද දෙමළ දනියි. සරත් පස්සේ එලවා එලවා කපන්නේ එල්ටීටීය විසින් ප්ලාන්ට් කර තිබෙන ඩුප්ලිකේට් මහින්ද ය. ඇත්ත මහින්ද කවදාවත් සරත් පාරට බස්සන්නේ නැත.

කවුරු විස්වාස කරන්න දැයි අපට නොතේරේ.

හඩ්ඩාගේ ඔරිජිනල් භාවය හැගිස්ස විය හැකි කෙනෙක් වේ නම් ඉදිරිපත් වන්නැයි අපි ඉල්ලා සිටිමු. ඔරිජිනල් බඩු ආරක්ෂා කරගෙන මේ ඩුප්ලිකේට් කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීමට ජනතාව වහ වහා ඉදිරිපත් විය යුතු බව නම් අපට හැගේ.

Posted in: Uncategorized