කට්අවුට් බලාගෙන ඉන්නා විටම ලොකු වන්නේ ඇයි?

Posted on December 1, 2009



අදෝමැයි!ලොකු විය යුත්තේ මිනිසුන් පමණ ද? කටඅවුට් ලොකු වුනහම මක්කා වෙනවද?

ඇත්තටම බැලුවොත් මිනිහා පුංචි වන විට කටඅවුට් ලොකු විය යුතු ය. මිනිහාගේ හැබෑ පුංචිකම ඉක්මවිය හැක්කේ ලොකු කටඅවුට් ගැසීමෙනි.

ලොකු කටඅවුට් එකෙන් පෙන්නන්නේ රට ජයගත් මහින්ද ය. පොලොවේ ජීවත්වන සැබෑ මිනිහාගෙන් පෙන්නුම් කරන්නේ තමන්ට ජය අත් කර දුන් සටන් සගයාට එලව එලවා පහර දෙන කුදු තැනැත්තේ ය.

හැම හන්දියක් පාරක් ලයිට් කණුවක් ගානේ කටඅවුට් ඉදිකිරීම නිසා වැදගැම්මකට නැතිව ඒ මිනිහා අවලංගුව ගොස් තිබේ. මේ මිනිසා වඩාත් ලොකුව මිනිසුන්ගේ මතකයට නැගෙන්නට නම් අලුත් ආරකින් පොළොවට වැඩිය යුතුය.

මේ සිදුවෙමින් තිබෙන්නේ එයයි.

කටඅවුට් උසට ඉදිවන විට වටපිටාවෙ ඉන්න ජනයාට ඉන් සිදුවිය හැකි අනතුරු වැඩිය. අප සංවේදී ඒ නිසා ය. වෛද්‍ය ශිෂ්‍යාවකට සිය ජීවිතය කාලකන්නි කරගන්නට සිදුවුනේ දැයට කිරුළ සදහා ඉදිවුනු මෙවන් ව්‍යුහයක් කඩා වැටීම හේතුවෙනි. ප්‍රභාකරන්ගේ බෝම්බයකින් මිය යනවාට වඩා තොරණක් කඩා වැටී මිය යාම ඇගට සනීප යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් මිය යෑමේ හා තුවාලවීමේ සනීපයක් ඇතැයි අපට හිතෙන්නේ නැත.

සරත් ෆොන්සේකාටත් මෙසේ උස යන්නට හිතුනොත් අපට වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට ය.

මෙසේ කෙළින් කරන කටඅවුට් මෙ දිනවල හමන සුලගින් ඇද වැටී කවරෙකුට හෝ අනතුරක් විය හැකි බැවිනි.

ජනතාවගේ හිස මතට කඩා වැටිය හැකි දේ ගැන අනතුරු අගවා සිටීම අපේ යුතුකමෙකි. මේ සටහන ඒ නිසා ය.

බදු ගෙවා ඉතිරිව තවත් මුදල් අත ගැවසේ නම් සූදානම් ශරීරය කියා ජීවිත හා සුවසම්පත් රක්ෂණයක් අරන් තැබීම සුදුසු ය. කටුඅවුට් කඩා වැටී එක්තැන් වන්නට වුවහොත් පිහිට වෙන්නට මේවා ඉදිකරන්නන් නම් ඉදිරිපත් වන්නේ නැත. එය බැර වනු ඇත්තේ ඔබ කළ කරුමයකට බැවිනි.

Posted in: Uncategorized